හික්කඩුවේ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයින් 6ක් අතුරුදහන්
හික්කඩුව හා අවට ප්‍රදේශවල ධීවරයින් හය දෙනෙකු සමඟ මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් දින ගණනාවක සිට අතුරුදන්ව ඇති බව එම ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයන් පවසයි.
'මිනූ බබා 01' නමැති බහුදින ධීවර යාත්‍රාව පසුගිය අප්‍රේල් 26 වැනිදා බේරුවල ධීවර වරායෙන් මුහුදු රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති අතර, එහි සිටි ධීවරයින් පිළිබඳ මේ වනවිට කිසිදු තොරතුරක් නොමැති බව සඳහන් වේ.
අතුරුදන්ව ඇති ධීවරයින් අතර හික්කඩුව මහවත්තේ පදිංචි යාත්‍රාවේ ස්කීපර් සුරේෂ් ලක්ෂාන්, ධම්මික ප්‍රදීප් පතිරණ, නාකන්ද ප්‍රදේශයේ කසුන් තාරක, ගිහාන් ලක්ෂාන් අබේනායක, සුමිත් පුෂ්පකුමාර සහ තෙල්වත්තේ තුසිත කමල් ගුණරත්න යන අය ඇතුළත් වේ.
මෙම පිරිස මැයි 14 වැනිදා දක්වා ගොඩබිම සමඟ සම්බන්ධතා පවත්වා ඇති අතර, ඉන් අනතුරුව කිසිදු සන්නිවේදනයක් ලැබී නොමැති බව පවුල්වල සාමාජිකයන් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඔවුහු චෝදනා කරති.
මහ මුහුදේ අතරමංව සිටී නම් හෝ වෙනත් රටකට ගොස් සිටී නම්, ධීවරයින් හය දෙනාම ආරක්ෂිතව ගොඩබිමට රැගෙන එන ලෙස ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නියෝජ්‍ය ධීවර අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කළේ, අතුරුදන් වූ ධීවරයින් සොයා ගොඩබිමට රැගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.