ලෝකෙටම සුබ ආරංචියක් - හෝමුස් සමුද්‍ර සන්ධියෙන් නෞකා ගමනාගමනය යළි ඇරඹෙයි
පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයෙන් අනතුරුව, ලොව අතිශය වැදගත් මුහුදු මාර්ගයක් වන 'හෝමුස් සමුද්‍ර සන්ධිය' (Strait of Hormuz) හරහා මේ වන විට අවම වශයෙන් නෞකා නවයක් ගමන් කර ඇති බව බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.
නෞකා ගමන් මග නිරීක්ෂණය කරන 'MarineTraffic' දත්ත විශ්ලේෂණය කරමින් එම පුවත් සේවය පෙන්වා දෙන්නේ, මෙලෙස ගමන් කළ නෞකා අතර තෙල් සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ටැංකි නෞකා දෙකක් ද ඇතුළත් වන බවයි.
පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මෙම මුහුදු මාර්ගයේ ගමනාගමනය මීට පෙර සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට තිබුණි.
බහුජාතික ඒකාබද්ධ සමුද්‍ර තොරතුරු මධ්‍යස්ථානයේ දත්තවලට අනුව, යුද ගැටුම් ආරම්භ වීමට පෙර දිනකට සාමාන්‍යයෙන් නෞකා 138ක් පමණ මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම මුහුදු මාර්ගය හරහා නෞකා ගමනාගමනයට ඉරාන රජය ඉදිරියේදීත් අඛණ්ඩව අවසර ලබා දෙන්නේද යන්න පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.
මුහුදු ප්‍රවාහන පුවත් සේවාවක් වන 'Lloyd’s List' හි ප්‍රධාන කර්තෘ රිචඩ් මේඩ් (Richard Meade) පවසන පරිදි, පවතින අස්ථාවරත්වය හේතුවෙන් නෞකා 800ක් පමණ මේ වන විට එම කලාපයේ සිරවී පවතී.
ලෝක බලශක්ති සැපයුමට තීරණාත්මක බලපෑමක් එල්ල කරන මූලෝපායික මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීම ගෝලීය වෙළඳපොළට සුවිශේෂී බලපෑමක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.