ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවට දින
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නඩුව නැවත කැඳවීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ මස (2026 මැයි) 25 වනදා දින නියම කර තිබේ.
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වූ මෙම නඩුව අද (11) කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබීය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා පවසා සිටියේ, මෙම නඩුවට අදාළ සාක්ෂි මෙහෙයවීමට පෙර, සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති පරිගණක උත්පාදිත ලේඛන සකස් කරන ලද පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්ති පාර්ශ්වයට අවස්ථාව අවශ්‍ය බවයි.
සාක්ෂි ආඥා පනතේ ප්‍රතිපාදනවලට අනුව තවමත් එවැනි අවස්ථාවක් ලැබී නොමැති බැවින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට බාධාවක් පවතින බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මහේස්ත්‍රාත්වරයා මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේ, සාක්ෂි වශයෙන් යොදාගන්නා ලේඛන උත්පාදනය කළ අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්ති පාර්ශ්වයට අවකාශ ලබා දෙන්නේද යන්න පිළිබඳව සිය ස්ථාවරය මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙසයි.
ඒ අනුව වැඩිදුර විභාගය සඳහා නඩුව මැයි 25 වනදාට කල් තැබිණි.