පෞද්ගලික අංශයටත් යුරියා බෙදන්න අවසර
යූරියා පොහොර බෙදාහැරීම සඳහා පෞද්ගලික ආයතනවලටද අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මෙම නව ක්‍රමවේදය යටතේ මේ සතිය තුළ පොහොර බෙදාහැරීම සම්බන්ධ ගැටලු විසඳෙනු ඇතැයි අපේක්ෂා කරන බවය. රට තුළ පොහොර ප්‍රමාණවත් ලෙස පවතින බවත්, ගොවීන් අතර අනවශ්‍ය ලෙස හිඟයක් මවා නොපාන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
එමෙන්ම මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන ඒමටද රජය වැඩසටහනක් සකස් කර අවසන් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේවෙතත්, ගොවීන් පවසන්නේ පොහොර ලබාදීම සඳහා මුදල් ගෙවා තිබුණද තවමත් ඒවා නොලැබීම හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවය. විශේෂයෙන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ගොවීන්ට ගොවිජන සේවා කාර්යාල හරහා ප්‍රමිතියෙන් තොර පොහොර ලබාදීම සම්බන්ධ චෝදනාද එල්ල වී තිබේ.
කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු දේශපාලන නියෝජිතයන් පවසන්නේ යල කන්නයට අවශ්‍ය සියලු පොහොර වර්ග රට තුළ පවතින බවත්, ඒවා ගොවීන්ට ලබාදීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය. එහෙත් දිස්ත්‍රික්ක රැසකින් තවමත් පොහොර නොලැබුණු ගොවීන් පිළිබඳ වාර්තා දිගින් දිගටම ලැබෙමින් පවතී.
මේ අතර, පොහොර ඌනතාවය හේතුවෙන් ගොයම දුර්වල වී දිලීර රෝගවලට ගොදුරු වෙමින් පවතින බවද ගොවීන් පෙන්වා දෙයි. මඩ පොහොර සඳහා මුදල් ගෙවා තිබුණද ඒවා නියමිත ලෙස නොලැබීමෙන් ගොවි කටයුතු බරපතල ලෙස බාධා වී ඇත.
දෙහිඅත්තකණ්ඩිය, මහවැලි සී කලාපයේ ගොවීන් සඳහන් කරන්නේ සඳුන්පුර ගොවිජන සේවා කාර්යාලය හරහා රුපියල් 13,250කට ලබාදුන් මඩ පොහොර ප්‍රමිතියෙන් තොර බවත්, කිලෝග්‍රෑම් 50 පොහොර මිටි ගල් වී ඇති බවත්ය. එමෙන්ම එම පොහොරවල නිෂ්පාදන හෝ කල් ඉකුත් වන දිනයක් සඳහන් නොවීමද ඔවුන්ගේ ප්‍රධාන චෝදනාවක් වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ පොහොර බෙදාහැරීමේ ක්‍රමවේදය පිළිබඳව හා ගොවීන්ට ඇතිව ඇති ගැටලු පිළිබඳව තවදුරටත් අවධානය යොමු විය යුතු බව ගොවි ප්‍රජාව අවධාරණය කරයි.