මුස්ලිම් ප්‍රජාවේ ආගමික හා සංස්කෘතික ගැටලු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ සාකච්ඡාවක්
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රධානීන් සමඟ විශේෂ හමුවක් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය දෙවසර තුළ රට තුළ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතබමින් සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තහවුරු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ආශිර්වාදය මෙහිදී පළ කර තිබේ.
එමෙන්ම රටේ අනාගත පරපුරට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළටද සංවිධානයේ සහාය පළ වී ඇත.
මුස්ලිම් ප්‍රජාව තම ආගමික හා සංස්කෘතික කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳවද හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජය තුළ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
ඒ සඳහා වත්මන් රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.