ජනාධිපතිවරයා හමුවූ හින්දු ආගමික නායකයින්ගෙන් රජයේ සංහිඳියා වැඩපිළිවෙළට සහ මත්ද්‍රව්‍ය මර්දනයට දැඩි සහායක්
හින්දු ආගමික නායකයින් පිරිසක් සමඟ විශේෂ හමුවක් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය දෙවසර තුළ රට තුළ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතබමින් සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තහවුරු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළට හින්දු පූජකවරුන්ගේ ආශිර්වාදය මෙහිදී පළ කර තිබේ.
එමෙන්ම රටේ අනාගත පරපුරට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළටද ඔවුන්ගේ සහාය පළ කර ඇත.
විශේෂයෙන්ම මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් දිවයින පුරා විසිරී සිටින හින්දු පූජකවරුන්ට ඒකාබද්ධව කටයුතු කළ හැකි විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මීට අමතරව හින්දු දහම් පාසල් පවත්වාගෙන යාම ඇතුළු හින්දු භක්තිකයින් මුහුණ දී සිටින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳවද හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.