හදිසි අවස්ථාවක පොලීසියට ''තත්පර 10න් දැනුම් දෙන්න නව App එකක්''
හදිසි අවස්ථාවකදී පොලීසිය වෙත ඉක්මනින් තොරතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය නව ජංගම යෙදවුමක් හඳුන්වා දී තිබේ. “Sri Lanka Police App” ලෙස නම් කර ඇති මෙම යෙදවුම සඳහා ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
යෙදවුමේ ඇති SOS පහසුකම හරහා හදිසි අවස්ථාවකදී තත්පර 10ක් බොත්තම ක්‍රියාත්මක කිරීමෙන් අදාළ පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යොමු කළ හැකි බවද ඔහු පැවසීය.
119 හදිසි ඇමතුම් අංකය හරහා පොලීසිය දැනුවත් කිරීමේ ක්‍රමවේදයට අමතරව, මෙම නව යෙදවුම මඟින්ද අවශ්‍ය අවස්ථාවකදී කඩිනමින් පොලීසිය වෙත තොරතුරු ලබාදීමේ හැකියාව පවතී.
දරුවෙකු අනතුරකට හෝ වෙනත් කරදරකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවකදී වුවද යෙදවුම භාවිත කර පොලීසිය දැනුවත් කළ හැකි අතර, එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමට පොලීසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
''SLS නැති දිගු විදුලි රැහැන් විකුණලා ලක්ෂ 4ක දඩයක්'' - SLS සහතිකය අනිවාර්ය විදුලි උපාංග ලැයිස්තුව මෙන්න
ජාතික හැඳුනුම්පත ඇති දරුවන්ටත් අවස්ථාව “Sri Lanka Police App” Play Store හරහා ලබාගෙන ලියාපදිංචි වීමට හැකි අතර, ජාතික හැඳුනුම්පතක් ඇති දරුවන්ටද යෙදවුම සඳහා ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම යෙදවුම අවභාවිත කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. මේ අතර, 119 හදිසි ඇමතුම් සේවාව අවභාවිත කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වා දුන් ඒ මහතා, 2025 වසරේදී එලෙස හදිසි ඇමතුම් අංකය අවභාවිත කළ පුද්ගලයන් 91 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.