37 වැනි සරසවිය සම්මාන උළෙලේ ජනප්‍රියම හා හොඳම සම්මාන ලැබුවන් මෙන්න [VIDEO]
ශ්‍රී ලාංකීය සිනමාවේ දීර්ඝ ඉතිහාසයක් සහිත සරසවිය සිනමා සම්මාන උළෙලේ 37 වන අදියර ඊයේ (09) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන රාත්‍රිය සංවිධානය කර තිබුණේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) සහ සරසවිය පුවත්පත එක්වය.
මෙවර සම්මාන උළෙල “තරුණ සිනමාවේ අරුණෝදය” යන තේමාව යටතේ පැවැත්වීම විශේෂත්වයක් වූ අතර, 2025 වසරේදී නවක අධ්‍යක්ෂවරුන් 13 දෙනෙකු ශ්‍රී ලාංකීය සිනමාවට එක්වීමද එහිදී විශේෂයෙන් ඇගයීමට ලක් කෙරිණි.
2025 වසර තුළ තිරගත වූ සිංහල චිත්‍රපට ඇගයීම සඳහා තරගකාරී අංශ 34ක් යටතේ සම්මාන 50කට අධික සංඛ්‍යාවක් මෙහිදී පිරිනැමිණි.
ප්‍රධාන සම්මාන රැසක්
ඉලංගෝ රාජ් මහතා අධ්‍යක්ෂණය කළ ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටය හොඳම ආකර්ෂණීය චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, තිසර ඉඹුලාන මහතා අධ්‍යක්ෂණය කළ ‘මෝඩ තරිඳු’ චිත්‍රපටය වැඩිම ආදායම් ලැබූ ජනප්‍රිය චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය.
ජනප්‍රිය චිත්‍රපට නළුවාට හිමි සම්මානය දමිත් විජේතුංග මහතාට හිමි වූ අතර, හොඳම චිත්‍රපට නළුවා ලෙස ප්‍රියන්ත සිරිකුමාර මහතා සම්මානයට පාත්‍ර විය.
ජනප්‍රිය චිත්‍රපට නිළිය සහ හොඳම චිත්‍රපට නිළිය යන සම්මාන ද්විත්වයම හිමිකර ගැනීමට සැන්ඩ්‍රා මැක් මහත්මිය සමත් වීමද මෙවර සම්මාන උළෙලේ කැපී පෙනෙන සිදුවීමක් විය.
''SLS නැති දිගු විදුලි රැහැන් විකුණලා ලක්ෂ 4ක දඩයක්'' - SLS සහතිකය අනිවාර්ය විදුලි උපාංග ලැයිස්තුව මෙන්න
ප්‍රවීණ කලාකරුවන් ඇගයෙයි
රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය ජ්‍යෙෂ්ඨ සිනමා මාධ්‍යවේදී ප්‍රේම් දිසානායක මහතා වෙත පිරිනැමිණි.
එමෙන්ම ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය ප්‍රවීණ කලාකරු හේමසිරි සෙල්ලප්පෙරුම මහතා, ජ්‍යෙෂ්ඨ නිළි නීටා ප්‍රනාන්දු මහත්මිය, ප්‍රවීණ ගායක ටී. එම්. ජයරත්න මහතා සහ එම්. එම්. අබ්දුල් හග් මහතා වෙත පිරිනැමිණි.
“සිනමාවට යළි සුබ කාලයක්”
ඇමති හිනිදුම සුනිල් සෙනෙවි උත්සවය අමතමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ 1964 වසරේ ආරම්භ වූ සරසවිය සම්මාන උළෙල මේ දක්වා පැමිණ ඇති ගමන පිළිබඳව අභිමානයක් පවතින බවයි.
සිනමාව වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ විශිෂ්ට කලාකරුවන් ඇගයීමට ලක් කිරීම අතිශය ප්‍රශංසනීය කරුණක් බවද අමාත්‍යවරයා පැවසීය.
මහාචාර්ය තිස්ස රණසිංහ මහතා විසින් නිර්මාණය කරන ලද සරසවිය සම්මානය මෙරට චලන චිත්‍ර සම්මාන අතර ඉහළම පිළිගැනීමක් සහිත සම්මානයක් බවද ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ සිට මේ දක්වා ශ්‍රී ලාංකීය සිනමාව යළි පෝෂණය වන කාලයක් උදාවී ඇති බවත්, සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයන් යළි පැමිණීම සුබ ලකුණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ පළමු වරට මෙරට චිත්‍රපටයක් ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සම්මාන උළෙල සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය නලින් හේවගේ මහතා, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණි වරුෂමාන මහතා ඇතුළු දේශපාලනඥයන්, ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන කර්තෘවරුන්, ප්‍රවීණ හා නවක කලාකරුවන්, සිනමා ශිල්පීන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.