විදෙස්ගත ශ්‍රමිකයන්ට සුබ ආරංචියක් - මේ මුදල ලක්ෂ 20 දක්වා වැඩි කරයි
විදේශ රැකියාවල නිරතව සිටියදී මරණයට පත්වන විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් ලබාදෙන මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
විදේශ රැකියාවලදී මරණයට පත් වූ ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ ඥාතීන් වෙත රුපියල් කෝටි 7ක වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.
මීට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දුන් රුපියල් ලක්ෂ 6ක වන්දි මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙලෙස ලක්ෂ 20 දක්වා වැඩි කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වාර්ෂිකව විදෙස්ගත වන ශ්‍රමිකයන්ගෙන් 250 දෙනෙකුට ආසන්න පිරිසක් අවාසනාවන්ත ලෙස දිවි අහිමි කරගන්නා බවත්, එම තත්ත්වය අවම කිරීමට පියවර ගනිමින් සිටින බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම මෙරටට වසරකට ඩොලර් බිලියන 8ක පමණ ප්‍රේෂණ ලබාදෙන විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් අඩු පොලී යටතේ රුපියල් මිලියන 10ක නිවාස ණය පහසුකම්, පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ඇතුළු සුබසාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.