විපක්ෂය සමඟ එකතු වෙන සාගල..
එක්සත් ජාතික පක්ෂය, කොළඹ මහ නගර සභාවේ දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ කාර්යක්ෂම සේවය දිගටම පවත්වාගෙන යාම සඳහා, විපක්ෂයේ වැඩි ඡන්ද ලබාගත් පක්ෂය සමඟ එකඟතාවයකින් බලය පිහිටුවීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී රත්නායක මහතා මෙසේද පැවසීය:
“ජනතාවට බොරු නොකරන, වැඩ කරන පාලනයක් ලබාදීමට, විපක්ෂයට වැඩි ඡන්ද ලැබුණු ආයතනවල බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය එම පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡාවල යෙදී සිටිනවා. අපගේ පක්ෂය විසින් කොළඹ මහ නගර සභාවේ දීර්ඝ කාලයක් බලය දරමින් සිදු කළ විශිෂ්ට, කාර්යක්ෂම සේවය දිගටම පවත්වාගෙන යෑමට අප කටයුතු කරනවා.
බලය පිහිටුවීමට අපි සන්ධානගත වීමක් සිදු නොකරනවා. සියලු දෙනා එකඟතාවයකින් සහයෝගයෙන් බලය පිහිටුවනවා. එහිදී කවුරු කාට සහය දෙනවාද යන්න වැදගත් නොවේ. වැදගත් වන්නේ ජනතාවට සේවය කිරීමයි. සමගි ජන බලවේගයත්, අපත්, විපක්ෂයේ වැඩි ආසන ලබාගත් අනෙක් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමඟ බලය පිහිටුවීම ගැන සාකච්ඡා කරනවා. අපි නගරාධිපති ධුරය සඳහා ඉල්ලීමක් කර නැහැ. මැතිවරණයට පෙර එකතුවී තරග කිරීමට අපි උත්සාහ කළා.
එහිදී සමගි ජන බලවේගය පැවසුවේ එරාන් වික්‍රමරත්න මහතාව කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස නම් කර ඒ සඳහා සහය ලබාදෙන ලෙසයි. එය සාර්ථක කරගත නොහැකි වුණා. නගරාධිපති ලෙස නම් කරන පුද්ගලයා සැමට පිළිගත හැකි අයෙක් විය යුතුයි. විපක්ෂයේ වැඩි ඡන්ද ලබාගත් පක්ෂය සැමට පිළිගත හැකි අයෙකුගේ නමක් යෝජනා කළහොත්, විපක්ෂයේ අනෙක් කණ්ඩායම් ඒ සඳහා සහය ලබාදෙනු ඇති. මෙහිදී සිදුවන්නේ කාටවත් සහය දීම නොව, ජනතාවට සේවය කිරීමයි.”
මෙහිදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, මහ ලේකම් තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීන් ද අදහස් පළ කළහ.
