මැද පෙරදිග යුද්ධයේ රිදුම ලංකාවට- මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළට
මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සහ ආනයන පිරිවැය ඉහළ යාමත් සමඟ, 2026 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුවේ නවතම විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව, 2026 මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 536ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 2025 මැයි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 252.8ට සාපේක්ෂව සියයට 112ක වාර්ෂික වර්ධනයකි.
මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම ඉහළ යාම බව මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව, 2025 මැයි මාසයේදී ඩොලර් මිලියන 197.2ක් වූ පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම, 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 418.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, බොරතෙල් ආනයන වියදම 2025 මැයි මාසයේ ඩොලර් මිලියන 55.5 සිට 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 94.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 70.9ක වාර්ෂික වර්ධනයක් ලෙස දැක්වේ.
ගල්අඟුරු ආනයන වියදම ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. 2025 මැයි මාසයේ ඩොලර් මිලියන 0.1ක් වූ එම වියදම, 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 22.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 30,220ක වර්ධනයක් බව මහ බැංකුවේ වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 2,703.7ක් ලෙස වාර්තා වී තිබේ. එය 2025 වසරේ එම කාලසීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 1,664.2ට සාපේක්ෂව සියයට 62.5ක වර්ධනයකි.