WhatsApp Usernames නිසා රහස්‍යතාව නැති වෙයිද? WhatsApp දුන් නිල පිළිතුර මෙන්න

By Kanchana Jul 01, 2026 02:11 AM GMT
Report

WhatsApp හි ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත පරිශීලක නාම (Username) විශේෂාංගය සම්බන්ධයෙන් මතුව ඇති රහස්‍යතා ගැටළු පිළිබඳව සමාගම පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය අදහස් කිහිපයකින් යෝජනා කර තිබුණේ, නව විශේෂාංගය හඳුන්වා දීමෙන් පසු ඕනෑම අයෙකුට පරිශීලක නාම සෙවීමෙන් අනෙකුත් පරිශීලකයින් සොයාගෙන සෘජුවම පණිවිඩ යැවිය හැකි බවයි.

එහෙත් එවැනි ප්‍රකාශ අසත්‍ය බව WhatsApp අවධාරණය කර ඇත. එවැනි සටහනකට ප්‍රතිචාර දක්වමින් WhatsApp සඳහන් කළේ, තම වේදිකාවේ පොදු පරිශීලක නාම නාමාවලියක් හෝ පරිශීලක නාම යෝජනා පද්ධතියක් නොමැති බවයි.

WhatsApp භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක් - ඔබේ දුරකථන අංකයට ඉස්සරහට මේකයි වෙන්නේ

WhatsApp භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක් - ඔබේ දුරකථන අංකයට ඉස්සරහට මේකයි වෙන්නේ

ඒ අනුව, යම් පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වීමට නම් ඔහුගේ හෝ ඇයගේ නිශ්චිත පරිශීලක නාමය දැන සිටීම අත්‍යවශ්‍ය වනු ඇත. මීට අමතරව, පරිශීලකයින්ට “පරිශීලක නාම යතුර” (Username Key) නම් අතිරේක රහස්‍යතා විශේෂාංගයක් සක්‍රීය කිරීමේ හැකියාවද ලබාදෙන බව සමාගම පවසයි. එමඟින්, අදාළ යතුර නොමැතිව වෙනත් අයෙකුට පරිශීලකයා සමඟ සම්බන්ධ වීම තවදුරටත් සීමා කළ හැකි වේ.

WhatsApp හඳුන්වාදීමට සැලසුම් කර ඇති මෙම නව පරිශීලක නාම විශේෂාංගයේ අරමුණ වන්නේ, පරිශීලකයින්ට සිය දුරකථන අංකය අනාවරණය නොකර එකිනෙකා සමඟ සම්බන්ධ වීමට පහසුකම් සැලසීමයි. කෙසේ වෙතත්, මෙම විශේෂාංගය සියලු පරිශීලකයින් වෙත නිල වශයෙන් නිකුත් කරන දිනය සම්බන්ධයෙන් WhatsApp මෙතෙක් නිවේදනයක් නිකුත් කර නොමැත.