රන්වලගේ වන්දිය අගතියට පත්වූවන් ප්‍රතික්ෂේප කරයි
තමන් පැදවූ ජීප් රථයේ ගැටී තුවාල ලැබුවන්ට සානුකම්පිත දීමනාවක් ලෙස මුදල් ලබාදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා සිය නීතිඥවරුන් මගින් අද අධිකරණයට දැනුම් දුන්නද, තුවාල ලැබූ පාර්ශවය එම මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය.
මේ අතර අදාළ නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය දෙසැම්බර් 11 වනදා සපුගස්කන්ද ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමේ සිද්ධියට අදාළ නඩුව අද මහර අංක 02 අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අධිකරණයේ පෙනී නොසිටී අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම මන්ත්‍රීවරයා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ 76 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටීන බවට වූ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළේය.