අද වැසි තිබුණත් ඉදිරියේදී අඩුවෙයි – එල් නිනෝ බලපෑම ගැන කාලගුණයෙන් ප්‍රබල අනාවැකියක්

Report

මේ වන විට දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, පවතින වියළි කාලගුණික තත්ත්වය අවසන් වී ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව වැඩි වන්නේ එළඹෙන ඔක්තෝබර් මාසයේදී බවයි.

විශේෂයෙන් නැගෙනහිර පළාතේ මෙන්ම මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ. එම ප්‍රදේශවල ජනතාවට එළිමහනේ ගැවසෙන විට සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත්, විටින් විට විවේක ගනිමින් හැකිතාක් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙයි.

එමෙන්ම රෝගී පුද්ගලයන් සහ වැඩිහිටියන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද දැනුම් දී ඇත. මේ වන විට දිවයින හරහා නිරිතදිග මෝසම ක්‍රියාත්මක වෙමින් පවතින අතර, අද (13) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයට නොනවත්වා වහින වැස්සෙන් කාසල්රී ජලාශය පිටාර මට්ටමට

මධ්‍යම කඳුකරයට නොනවත්වා වහින වැස්සෙන් කාසල්රී ජලාශය පිටාර මට්ටමට

මීට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ සමස්තයක් ලෙස දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි.

සුළං තත්ත්වය සම්බන්ධයෙන් සැලකීමේදී උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක් තද සුළං ඇතිවිය හැකිය.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සැප්තැම්බර් මාසය දක්වා තවදුරටත් වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ. මැයි සිට සැප්තැම්බර් දක්වා පවතින නිරිතදිග මෝසම් කාලය තුළ මෙම ප්‍රදේශවලට වර්ෂාපතනය අඩුවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් එය තවදුරටත් තීව්‍ර විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එල් නිනෝ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, මේ වන විට එහි උපරිම බලපෑමක් දැකගත නොහැකි වුවද අගෝස්තු මාසයත් සමඟ එහි වර්ධනය නිරීක්ෂණය කළ හැකි බවයි.

නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස වන විට එල් නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමකට වර්ධනය වීමේ සම්භාවිතාව 80%කට වඩා වැඩි බවත්, එහි බලපෑම ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පැවතිය හැකි බවත් ඔහු පැවසීය.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දිවයින පුරා වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි නමුත්, එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලබන වසරේ පළමු කාර්තුවේදී යළිත් වර්ෂාපතනය අඩුවීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

දිවයිනේ ස්ථාන රැසක අද 2 න් පසු ගිගුරුම් සහිත වැසි - නිවේදනයක්

දිවයිනේ ස්ථාන රැසක අද 2 න් පසු ගිගුරුම් සහිත වැසි - නිවේදනයක්