අලි හා ඇතුන්ගේ මරණ ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
වර්තමානයේ අලි හා ඇතුන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවට වාර්තා වීම හේතුවෙන්, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස පරිසර අමාත්‍යංශය විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල මහතාගේ අත්සනින් යුතු එම ලිපියේ සඳහන් වන්නේ, අලි හා ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි.
පසුගිය දින කිහිපය තුළ අලි හා ඇතුන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් අඛණ්ඩව වාර්තා වී ඇති අතර, 2025 වසරේ මේ දක්වා වන අලි මරණ 232ක් සිදුව ඇති බව වාර්තා වේ. එමෙන්ම, දඹුල්ල - ඉනාමලූව රජයේ රක්ෂිතය තුළ මාසයකට පමණ පෙර මියගිය බවට සැකකෙරෙන ඇතෙකුගේ සහ වන අලි දෙදෙනෙකුගේ ශරීර කොටස් ඊයේ (2025.07.22) හමුවී ඇත.
මේ අතර, කලාවැව රක්ෂිතයේ වෙඩි වැදී තුවාල ලබා සිටින අවුරුදු 8ත් 10ත් අතර වයසේ ඇත් පැටවෙකුට ප්‍රතිකාර ආරම්භ කර ඇති බව වනජීවි නිලධාරීන් පවසයි. එම ඇත් පැටවාගේ ඉදිරි වම් පාදයට ඉහළින් වෙඩි වැදී ඇති බව ඔවුන් සඳහන් කළහ.
අලි හා ඇතුන්ගේ මරණ සහ වෙඩි තැබීම්වලට පිටුපස සිටින පුද්ගලයින් පිළිබඳ සැකයක් පවතින බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා අද (23) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එමෙන්ම, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉල්ලා සිටියේ, අලි හා ඇතුන් සිටින ප්‍රදේශවල තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසයි.
මේ අතර, අලි හා ඇතුන්ට හිරිහැර කරන පුද්ගලයින්ට මරණ දණ්ඩනය ලබාදිය හැකි ලෙස වනජීවි ආඥා පනත සංශෝධනය කළ යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ප්‍රකාශ කළහ.
