"..අවුරුදු 11ක් රට ඉඳලා සිරුරු කොටස් ගෙනෙයි කියලා හිතුවේ නෑ..එයා හොරු අරන් ගියා වගේ.."අතිශය සංවේදී වූ ප්‍රියන්තගේ බිරිය හැඩූ කඳුලින් කියන කතාව

SRI LANKA PAKISTAN PRIYANTHA KUMARA NILU DISANAYAKE
By Sewvandhi Dec 06, 2021 04:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

''අවුරුදු එකොළහක් රැකියාව කරපු රටේ සිට අවසානයේ සිරුරු කොටස් ගේන්න වේවි කියලා අපි හිතුවේ නෑ. දරුවන්ටත්, මටත් මේ වියෝගය දරාගන්න අමාරුයි. මට මගේ අහිංසක මහත්තයා නැති වුණා. එයා හොරු අරන් ගියා වගේ. අහිංසක දරු දෙන්නා කොහොම ද තාත්තා නැති පාඩුව උහුලන්නේ? එයාලා හැමදා ම බලාගෙන ඉන්නේ ඒ ඒ දවසේ තොරතුරු කියන්න තාත්ත කතා කරනකල්. මේ වගේ විපතක් කාටවත් නම් වෙන්න එපා,'' මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිය නිලූෂි දිසානායක මහත්මිය හැඬ­ කඳුළින් එසේ පැවැසුවා ය.

ඇය සිය ආදරණීය සැමියාට සිදුවූ මේ විපත නිසා ඇගේ හදවත තුළ සිරකරගෙන සිටින වේදනාව, දරු දෙදෙනාට නොදැනෙන සේ කාටත් නොඇසෙන සේ දෙතොල් තදකරගෙන මුමුනන ශෝචනීය දසුන්, එහි යන එන කාගේත් දෙනෙත් කඳුළින් තෙත් කිරීමට සමත්ව ඇත.

“එයා ඒ රටේ ජීවත් වුණේ, රට පිළිබඳ, රටේ ආගම පිළිබඳව තේරුම් අරගෙන. රාජ්කෝ කර්මාන්ත ශාලාවේ හිටිය එක ම ශ්‍රී ලාංකික සාමාන්‍යාධිකාරිවරයා මගේ මහත්තයා. මම ඉල්ලන්නේ මේ වගේ සිදුවීම් ආයෙත් අපේ රටේ ශ්‍රමිකයන්ට සිදු නොවිය යුතුයි කියලා. සතියෙන් දෙකෙන් හැමදේ ම අමතක නොවන රටක මේ මිනිස් ඝාතනයටත් ඒ දෙයම සිදුවෙන්න ඉඩ දෙන්න එපා. අපේ පවුලට සිද්ධ වෙච්ච පාඩුව අපි කොහොම ද දරාගෙන්නේ? කොච්චර මුදල් ලැබුණත් වැඩක් නැහැ. අද මට මගේ මහත්තයා නැහැ. අහිංසක දරු දෙන්නට තාත්තා නැහැ. දරුවන්ට තාත්තගෙ සෙනෙහස නැති වුණා. මට මගේ මහත්තයගෙ රැකවරණය නැති වුණා. දැන් මම දරු දෙන්නත් එක්ක අන්ත අසරණයි. අපි මේ දුක කාට කියන්න ද දෙවියනේ” කියමින් නිලූෂි දිසානායක දිග සුසුමක් හෙළුවා ය.

“මගේ මහත්තයා වැක්සින් එක අරන් තිබුණේ නැහැ. මේ මාසෙ වැක්සින් එක ගන්නව කියලා මට කිව්වා. එයාගෙ ලොකු ම බලාපොරොත්තුව වෙලා තිබුණේ දරුවන්ගෙ අධ්‍යාපනය. මම රස්සාවක් කරන්නේ නැහැ. මේ ඔක්කොම මම කරන්නේ කොහොම ද?”

ඇය කියාගෙන කියාගෙන ගියේ හදවත තෙරපෙන වේදනාව යාන්තමට හෝ තුනීකර ගෙන සැනසීමක් ලැබීමට විය යුතුය. මියගිය ප්‍රියන්තගේ වැඩිමහල් පුතා ගවිද් ගෙනුක දියවඩන 14 වැනි වියේ පසුවෙයි. ඔහු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුම ලබයි. බාල පුතා ලිතුල ලෙසාන් වැලිපිල්ලෑව ප්‍රාථමික විදුහලේ 4 වැනි වසරේ ඉගෙනුම ලබයි. තාත්තා හදිසියේ ම ඔවුන්ට අහිමිවීමේ ශෝකය දරාගත නොහැකිව ඒ දරු දෙදෙනා ම කිසිවක් කරකියාගත නොහැකිව බලාගත්අත බලාගෙන සිටින්නේ වේදනාව හදවත්වල සිරකරගෙන ය.

“මගේ මහත්තයා සාමකාමී කෙනෙක්. එයා නිතරම කිව්වේ නිය ම මුස්ලිම් ආගමිකයෝ ඉන්නේ පාකිස්තානයේ කියලා. ඔවුන් රටටත් ආගමටත් ඉතා ම ත් භක්තිවන්තයි කියලා එයා කිව්වා. එයා කිසිම දවසක ආගම්වාදී, කලහකාරී වැඩ කළේ නැහැ. සහයෝගයෙන් වැඩ කරපු නිසයි අවුරුදු එකොළහක කාලයක් ඒ රටේ සේවය කළේ. ඒ නිසා මට හොඳටම විශ්වාසයි ඔය සිද්ධිය ආගමික පෝස්ටර් ඉරදාපු නිසා වූ දෙයක් නෙවි කියලා” යැයි නිලූෂි දිසානායක මහත්මිය සඳහන් කළා ය.

මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනකු ද පාකිස්තානයේ වෙනත් ප්‍රදේශවල සේවය කර ඇති අතර කමල් දියවඩන මහතා පවුලේ සිවුවැන්නා ය. මේ වනවිට නිවාඩුවක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටී. පුරා වසර 10ක් පාකිස්තානයේ සේවයේ නිරත ඔහු එරට නීතිය පිළිබඳව හොඳින් ම දන්නා අයෙකි. මියගිය බාල සහෝදරයාගේ ඝාතනය පිළිබඳව දැනට ලැබී ඇති තොරතුරු ඔහු මෙසේ පැවසීය.

“මේ ඝාතනය කරලා තියෙන්නේ සිකුරාදා දවසක. එදා ඔවුන්ගේ ජුම්මා දවස. හැමෝම පල්ලි යන දවස. කර්මාන්ත ශාලාවේ වැඩ වර්ජනයක් තිබිලා තියෙනවා. ආයතනයේ හිමිකරු ජර්මනියේ ඉඳලා තියෙන්නේ. මල්ලීට තමයි වගකීම පැවරුණේ. ෆැක්ටි්‍රයේ වැටුප් ගැටලුවක් සම්බන්ධයෙන් වැඩවර්ජනයක් තිබිලා තියෙනවා. මල්ලීට කෙනෙක් ඇවිත් ඒ ගැන කියලා තියෙනවා උද්ඝෝෂණයක් තියෙන වග. ඒ වෙලාවේ මල්ලී කීවලු ඇතුළට ඇවිත් වැඩ කරන්න කියන්න වැටුප් ප්‍රශ්න ගැන අපි පස්සෙ කතා කරමු කියලා. පණිවුඩය ගෙනිච්ච කෙනා මොනවා කිව්වද දන්නෙ නෑ.

මොහොතකින් උද්ඝෝෂණයේ හිටපු කට්ටිය කර්මාන්තශාලාව ඇතුළට ඇවිත් මල්ලිගෙ නිල කාමරේ දොර කඩලා මල්ලීව ඇදගෙන ගිහින් ඇදුම් ඉරලා මහපාරේ දාගෙන පහර දීලා. අපිට ලැබෙන තොරතුරු අනුව පොලුවලින් ඔළුවට ගහලා තියෙනවා. ලේ පෙරෙද්දි ඇදන් ගිහින් ෆැක්ටි්‍රයේ ඉස්සරහ ම ටයර් දාලා පුච්චලා. සමහරුන් කියන්නේ පණපිටින් පිච්චුවේ කියලා. පෝස්ටර් කතාව බොරු. ඒ රටේ අවසර නැහැ කුරානයේ පෝස්ටර් ගහන්න. ඒක නීතියෙන්ම තහනම්. ඒ රටේ නීතිය අනුව ඔවුන්ගේ ආගමට අපහාස කළොත් මරණ දඬුවම දෙන්න පුළුවන්.

ඝාතකයන් නීතියෙන් ගැලවෙන්න තමයි මේ ආගමික පෝස්ටර් කතාව ඈඳාගෙන තියෙන්නේ. අපි විශ්වාස කරනවා රජය අපිට සාධාරණය ඉටුකරයි කියලා. ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව මැති ඇමතිවරුන් තොරතුරු දැනගත් වෙලේ පටන් මේ මොහොත දක්වා ම අපිට ලොකු සහායක් දුන්නා. එවගේ ම පාකිස්තාන අගමැතිවරයා පිළිබඳව අපේ විශ්වාසයක් තියෙනවා. එතුමා බලයට පත්වූ දා සිට ම ඉතා ම සාධාරණ විදියට රටේ නීතිය ඉෂ්ට කරා.

ඒ නිසා මා විශ්වාස කරනවා තවත් ලාංකිකයෙකුට මේ කෘෘර ඉරණම අත්වීමට ඉඩ නොදී දෙරටේ නායකයන් එක්ව මේ සමූහ මිනිස් ඝාතකයන්ට නිසි දඬුවමක් දෙයි කියලා” යැයි කමල් දියවඩන මහතා පැවසීය. ප්‍රියන්ත කුමාර මහතාගේ බිරියගේ පියා වන දිසානායක මහතා මෙම පෝස්ටර් බැනර් කතාව අසත්‍යක් බව පැවසීය. ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද (දෙසැ. 6) සවස 5.00ට විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය. දේහය පිළිබඳ අවසන් කටයුතු 8 වැනි බදාදා සිදුකිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW