ප්‍රියන්ත ව ඝාතනය වූ හැටි හෙළිවෙයි. සැකකරුවන් බන්ධනාගාරයට රැගෙන යන වීඩියෝව (VIDEO)

By Sithumi Dec 05, 2021 02:15 PM GMT
Sithumi

Sithumi

Report

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 124 දෙනා අතරින් 13 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 

 පාකිස්තාන දණ්ඩ නීති සංග්‍රහය හා ත්‍රස්ත විරෝධී පනත යටතේ එම සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගත් අතර සැකකරුවන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ට අඩු අය වෙයි. මේ අතර සිවිල් සමාජයට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩත්වය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, පකිස්තානයට ලබාදී ඇති GSP+ තත්ත්වය නැවත සමාලෝචනය කරන ලෙස යුරෝපීය පාර්ලිමේන්තුව මේ වනවිට යෝජනාවක් ද සකස් කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය හෙළි කර තිබේ. 

පාකිස්තානයේ සියල්කොට්හී ක්‍රීඩා ඇඟලුම් කම්හලක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතාට පහරදී ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමට කටයුතු කර තිබුණේ පසුගිය සිකුරාදා දිනයේදීය. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මේ වනවිට රහසිගත ස්ථානය රඳවා විමර්ශන සිදුකෙරෙන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. 

මෙම පරීක්ෂණ සඳහා CCTV කැමරා 160ක පැය 12කට වැඩි දර්ශන සහ එම ස්ථානයේ සිටි පුද්ගලයින්ගේ ජංගම දත්ත විශ්ලේෂණයන්ද පරීක්ෂාවට ලක් කර ඇතැයි සඳහන්ය. එමෙන්ම සිදුවීමට සම්බන්ධ වූ ඇඟලුම් කම්හලේ සේවකයින් 900 දෙනෙකුට එරෙහිව මූලික පරීක්ෂණ වාර්තා සූදානම් කර ඇති අතර දැනට සැඟව සිටින සැකකරුවන් පිරිසක්ද ඒ අතරට අයත්ය. පාකිස්තානයේ ලාහෝර් සිට අද දෙරණ වෙනුවෙන් තොරතුරු දුන් හම්සා අසාර් කියා සිටියේ, "

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙකු සියල්කොට් අධිකරණයට අද ඉදිරිපත් කළා. ඔවුන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.මෙම අපරාධය සම්බන්ධයෙන් 100ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් 900 දෙනෙකුට එරෙහිව මූලික පරීක්ෂණ වාර්තා සූදානම් කර තිබෙනවා. පන්ජාබ් පොලීසිය මේ සම්බන්ධයෙන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.ඔවුන් අපත් සමග පැවසුවේ මේ සම්බන්ධයෙන් වන සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය උපයෝගී කර ගන්නා බවයි.

" ප්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන මාධ්‍ය අද කරුණු රැසක් අනාවරණ කර තිබුණි. ඒ අනුව අදාළ කම්හලේ සේවකයින්ගේ විනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කර ඇති ප්‍රියන්ත කුමාර මහතාගේ ක්‍රියාකලාපයට කම්හලේ ඇතැම් පුද්ගලයින් අකැමැත්තෙන් පසුවූ බව එම වාර්තාවල සඳහන්ය. 

කම්හලේ තාප්පයක තීන්ත ගෑමට සූදානම් කර තිබියදී ඔහු තාප්පවල තිබූ පැරණි පෝස්ටර ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර එහි එක් පෝස්ටරයක් ​​ආගමික මතභේදයකට තුඩුදුන් එකක් බැවින් ඇතැම් සේවකයෝ ඊට විරෝධය පළ කර තිබේ. මෙහිදී ප්‍රියන්ත කුමාර මහතා සමාව අයැද සිටියද විරුද්ධවාදීන්ගේ උසිගැන්වීම මත මෙම පහරදීම සිදුකර ඇති බව එම වාර්තාවල සඳහන්ය. 

 පසුව ඔහු කම්හලේ ඉහළම මහලේ වහලය වෙතට දිවගොස් එහි සූර්ය පැනලයක් යට සැඟව ඇති අතර එහිදී සේවකයින් පිරිසක් ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන මේ වනවිට නිකුත් වී තිබේ.

එම අවස්ථාවේ ඔහුව ආරක්ෂා කරගැනීමට තවත් පිරිසක් උත්සාහ දරමින් ඔහුව වටකරගෙන සිටින අයුරුද එම දර්ශනවල දැක්වේ. මේ අතර මෙවැනි සිදුවීමක් වන බවට සියල්කොට් පොලිස් ස්ථානය වෙත ඇමතුම ලැබීමෙන් පසු එම ස්ථානයට පැමිණීම සඳහා පොලීසිය කොපමණ කාලයක් ගත කළේද යන්න පිළිබඳවත් එරට පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වයි. එම ස්ථානයට පැමිණීම සඳහා පොලීසියට පළමු ඇමතුම ලැබී විනාඩි 17ක පමණ කාලයක් ගතවී ඇතැයිද සඳහන්ය. ප්‍රියන්තගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සියල්කොට්හි අල්ලාමා ඉක්බාල් ශික්ෂණ රෝහලේදී සිදුකර ඇති අතර ඔහුගේ සිරුරේ වැඩි කොටසක් පිළිස්සී ඇති බවත් එල්ලවූ වධහිංසා හේතුවෙන් අස්ථි කිහිපයක් කැඩී ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. දේහය දැඩි ආරක්ෂාව මධ්‍යයේ සියල්කොට්හි සිට ලාහෝර් වෙත රැගෙන ගොස් තිබුණි. 

නිවේදනයක් නිකුත් කරමින් මෙරට විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ රාජ්‍ය වියදමින් හෙට දිනයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් දිවයිනට රැගෙන එන බවය. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

විපතට පත්වූ පාර්ශ්වයට වන්දි ගෙවීම සඳහා ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයාගේ සේවා යෝජකයා සමග මේ වනවිට සාකච්ඡාවල නිරතව සිටින බවද අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර අද පස්වරුවේත් ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසට මහජන නියෝජිතයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද පැමිණ පවුලේ සාමාජිකයින් වෙත සිය සංවේගය පළකර තිබුණි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථාන ආග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක්ද පවත්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. මෙම ඝාතනයට සම්බන්ධ සියලුම අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ.

යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පාකිස්තානු ආරක්ෂක නිලධාරීන්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කළ බවය. මේ අතර ප්‍රියන්ත කුමාරගේ සහෝදරයෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, "දේහය හෙට හවස 5 වෙකොට කටුනායකට ළඟා වෙනවා. ඊට පස්සේ මෙහෙ තියෙන මරණ පරීක්ෂණයට මීගමුව රෝහලට භාරදෙනවා කිව්වා. අනිද්දා හැන්දැවට දේහය අපට ලබාදෙයි. එහෙම වුණොත් බදාදා අවසන් කටයුතු සිදුකරීමට අපේක්ෂා කරනවා.

" මේ අතර පාකිස්තානයේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සාමාජිකයෙකු වන වෛද්‍ය නියාස් බ්‍රෝහි මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස ශෝක වෙමින් මෙරට අක්ෂිදාන සංගමය වෙත ලිපියක් යොමු කර තිබුණි. ඔහු පෙන්වා දෙන්නේ පකිස්තානයට වැඩිම ඇස් ප්‍රමාණයක් දන්දෙන රට ලෙස ශ්‍රී ලංකාව 1967 වසරේ සිට මේ දක්වා ඇස් 35,000ක් පරිත්‍යාග කර ඇති බවය.

“ශ්‍රී ලාංකිකයින් අපට ඇස් දන් දුන්නා, එහෙම වුණත් අප අන්ධවුණා." යනුවෙන් වෛද්‍ය නියාස් බ්‍රෝහි සඳහන් කර තිබේ. මේ අතර සියල්කොට් හි සිදුවූ ඝාතන සිද්ධිය පිළිබඳ මේ වනවිට ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ආගමට අපහාස කිරීමේ චෝදනාවක් හේතුවෙන් සියල්කොට් හි ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරුවෙකු කළහකාරී ලෙස ඝාතනය කර මරා දැමීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි ලෙස සංවේගයට පත්ව ඇති බවය

. එසේම පාකිස්තාන බලධාරීන් වහාම ස්වාධීන, අපක්ෂපාතී සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර තිබේ. මේ අතර පාකිස්ථාන අමෙරිකානු දේශපාලන ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානියා වන ආචාර්ය රාඕ කම්රාන් අලි විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ සියල්කොට් ඛේදවාචකය එක්සත් ජනපද කොංග්‍රසය තුළ පාකිස්තානය ප්‍රවර්ධනය කිරීමට ඔවුන් දරන උත්සාහයට දරුණු අහිතකර බලපෑමක් ඇති කරනු ඇති බවය. මේ අතර පාකිස්ථාන තුළ ආගම්වලට අපහාස කළ බවට චෝදනා කරමින් සිදු කරන ප්‍රචණ්ඩත්වය මේ වනවිට ඉහළ යමින් පවතින බවට වාර්තා වේ. 

 මාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජයට එරෙහි සිදු කරන ප්‍රචණ්ඩත්වය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, පකිස්තානයට ලබාදී ඇති GSP+ තත්ත්වය නැවත සමාලෝචනය කරන ලෙස යුරෝපීය පාර්ලිමේන්තුව මේ වනවිට යෝජනාවක් ද සම්මත කර තිබේ. රට තුළ ආගමික සුළුතරයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම සඳහා පෙළඹවීම මර්දනය කරන ලෙස මෙම යෝජනාව හරහා යුරෝපීය පාර්ලිමේන්තුව පාකිස්තාන රජයෙන් ඉල්ලා තිබේ.