පිවිතුරු හෙළ උරුමයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් එළියට
පිවිතුරු හෙළ උරුමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනයයි
අයිසීසීපීආර් පනත විපක්ෂය සහ මාධ්‍ය මර්දනයට යොදා ගන්නේ කෙසේද?
2025 අගෝස්තු 5 දින පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍ය හමුවක දී හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු කොටි නායකයෙකුගේ ගොතන ලද සාක්ෂියක් මත බව ප්‍රකාශ කරමින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම විවේචනය කරන ලදී. එකී ප්‍රකාශය මඟින් අයිසීසීපීආර් පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව 2025 අගෝස්තු 27 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් උසාවියට දැනුම් දෙන ලදී.
ලොව පුරා ඒකාධිපති ආණ්ඩු විසින් විරුද්ධවාදින් සහ මාධ්‍ය මර්දනයට යොදා ගන්නා ප්‍රධානතම මෙවලමක් වන අයිසීසීපීආර් පනත වත්මන් ආණ්ඩුව ද විපක්ෂය මර්දනය කිරීමට යොදා ගැනීම ආරම්භ කර තිබේ. නමුත් අවාසනාවකට අයිසීසීපීආර් පනත යනු කුමක්දැයි සමාජය තුල ගැඹුරු අවබෝධයක් නොමැත. අයිසීසීපීආර් ලෙස කෙටි නාමයෙන් හඳුන්වන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 1966 දී සම්මත කර ගත් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියයි. එයින් පුද්ගලයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ආගමික නිදහස වැනි අයිතින් ගණනාවක් සහතික කර තිබේ.
ශ්‍රී ලංකාව ද මෙම සම්මුතියේ පාර්ශවකරුවෙකු බැවින් සම්මුතිය මෙරට තුල බලාත්මක කිරීමට අයිසීසීපීආර් පනත නමින් හඳුන්වන 2007 අංක 56 පනත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කරන ලදී. එකී සම්මුතියේ විසිවන වගන්තිය බලාත්මක කිරීම සඳහා මෙම පනතේ 3(1) වගන්තියෙන් යම් පුද්ගලයෙකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු වන ආකාරයේ ආගමික හෝ ජනවාර්ගික වශයෙන් පෙළෙඹවීම් කිරීම වරදක් බවට පත් කර ඇත. එවැනි වරදක් කරන අයෙකුට දඬුවම ලෙස බරපතල වැඩ සහිතව වසර දහයක් දක්වා බන්ධනාගාර ගත කළ හැක. මෙම පනතින් වරදක් ලෙස තහනම් කර ඇත්තේ වාර්ගික ආගමික ගැටුම් ඇවිලීමයි.
එබැවින් මෙම පනත බැලු බැල්මට යහපත් පනතකි. මෙහි භයානකකම ඉස්මතු වන්නේ ඇප පිළිබඳ කොන්දේසි විමසීමෙනි. පනතේ 3(4) වගන්තියට අනුව ඉහත වරද කර ඇත්නම් එය ඇප ලබා නොදිය යුතු වරදකි. ඇප මත මුදා හැරිය යුත්තේ සුවිශේෂී කරුණු මත මහාධිකරණය විසින් පමණි. මේ අනුව මෙම පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයෙකුට ඇප ලබා දීමට මහෙස්ත්‍රාත්වරයෙකුට නොහැකි අතර මහාධිකරණයට යොමු කළ යුතුය. මහාධිකරණ ක්‍රියාවලිය තුල ඉක්මණින් ඇප ලබා ගැනීම අපහසුය. එයද සුවිශේෂී කරුණු ඉදිරිපත් කලොත් පමණි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්අඩංගුවට ගත්තේ පොදු දේපල පනත යටතේය. ඒ අනුව මහෙස්ත්‍රාත්වරයෙකුට සුවිශේෂී කරුණු යටතේ ඇප මත මුදා හැරිය හැක. නමුත් එතුමා පක්ෂ නායකයෙකු වීම හෝ අසනීප ගණනාවකට ප්‍රතිකාර ලැබීම හෝ සුවිශේෂී කරුණු ලෙස පිලිගත නොහැකි බව අධිකරණයේ මතය විය.
අවසානයේ දී එතුමාට ඇප ලබා ගැනීමට හැකි වූයේ අසාධ්‍ය මට්ටමට රෝගී තත්වයන් උත්සන්න වුණු බැවිනි. සුවිශේෂී කරුණක් මතු කිරීමට නොහැකි වුණොත් සැකකරුට වසරක් දක්වා වුවද රක්ෂිත බන්ධනාගාර ගත වී සිටීමට සිදු වේ. මක් නිසා ද යත් වසරක් පුරා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටීම ඇප ලබා දීමට සුවිශේෂී කරුණක් ලෙස අධිකරණය සලකන බැවිනි. මෙම තත්වය යටතේ ලොව පුරා මර්දනකාරි ආණ්ඩු විපක්ෂයේ ක්‍රියාකාරින් සහ මාධ්‍ය මර්දනය කරමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇවිරීම සඳහා මෙම පනත අවභාවිතා කරමින් ඇත. විශේෂයෙන් රජයට නිසි පරිදි පැමිණිල්ලේ නඩුව මෙහෙයවීමට ඇති අසමත්කම නිසා සැකකරුවන්, වරදකරුවන් බවට පත්වීමේ ප්‍රතිශතය අඩු රටවල සිය අකාර්යක්ෂම භාවය සැඟවීම සඳහා ඇප ලබා ගැනීමට අපහසු පනත් යටතේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර දිගු කාලයක් රඳවා තබා ගැනීම සිදු කරයි. උදාහරණයක් ලෙස සැකකරුවන්, වරදකරුවන් බවට පත්වීමේ ප්‍රතිශතය ලංකාවේ 4% – 6% අතර අගයක් වන විට, සංසන්දනාත්මකම එංගලන්තයේ 90% ජපානයේ 99% වැනි ඉහල අගයක් ගනී. කිසිසේත්ම වෛරී ප්‍රකාශ ලෙස සැලකිය නොහැකි ආණ්ඩු විරෝධි ප්‍රකාශ කරන පුද්ගලයින් මෙම අයිසීසීපීආර් පනත අවභාවිතා කරමින් අත්අඩංගුවට ගෙන දිගු කළක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බැවින් යම් ප්‍රකාශයක් අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගැනීමට නම් නිර්ණායක හයක් සම්පූර්ණ විය යුතු බවට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් විසින් තීරණය කරන ලදී. එකී නිර්ණායක රබාත් පරික්ෂාව (Rabat Threshold Test) ලෙස හැඳින්වේ. සය වැදෑරුම් රබාත් පරික්ෂාව අනුව යම් ප්‍රකාශයක් වෛරී ප්‍රකාශයක් වීමට නම් පළමුව එකී ප්‍රකාශය සිදු කරන පසුබිම ආගමික හෝ ජනවාර්ගික ගැටුම් ඇති කරන පසුබිමක සිදු කළ යුතුයි. ඒ අනුව මෙම ප්‍රකාශයෙන් අදාල ජනවර්ගයට එරෙහිව යම් පිරිසක් ආවේගශීලීව කටයුතු කරන පසුබිමක මෙම ප්‍රකාශය සිදු කර තිබිය යුතුය.
දෙවන නිර්ණායකය වන්නේ ප්‍රකාශය කරන පුද්ගලයාය. ප්‍රකාශය කරන පුද්ගලයා ප්‍රචණ්ඩත්වයට පෙළඹිය හැකි ජනතාවට බලපෑම් කළ හැකි පුද්ගලයෙකු විය යුතුය. තුන්වන නිර්ණායකය වන්නේ අරමුණයි. හුදු නොසැලකිල්ල හෝ ව්‍යාකූලත්වය මත කරන ප්‍රකාශයක් නොවී යම් පිරිසක් ප්‍රචණ්ඩත්වයට පෙළෙඹවීමේ අරමුණ තිබිය යුතුය. සිව්වන නිර්ණායකය වන්නේ ප්‍රකාශයේ අන්තර්ගතයයි. එහි තුල සෘජුවම ප්‍රචණ්ඩත්වයට ජනතාව පොළොඹවන කොටසක් තිබිය යුතුය. පස්වන නිර්ණායකය වන්නේ ප්‍රකාශයේ පැතිරීමයි. එහි දී කුමන මාධ්‍යයක් හරහා ප්‍රකාශ කලා ද නැවත නැවත එකී ප්‍රකාශය සිදු කලා ද ඒ හරහා කෙතරම් දැවැන්ත පිරිසක් කරා ප්‍රකාශය ලඟා වුණා ද යන කරුණු ගැඹුරින් සලකා බැලිය යුතුය. අවසාන වශයෙන් මෙකී ප්‍රකාශය හේතුවෙන් ජනවාර්ගික හෝ ආගමික ප්‍රචණ්ඩත්වයක් ඇති වීමේ අවදානමක් මතු විය යුතුය. නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ සිදු කළ ප්‍රකාශය තුල කිසිම ජනවාර්ගික හෝ ආගමික කණ්ඩායමක් පිළිබඳ කිසිම සඳහනක් නොමැත. එබැවින් එම ප්‍රකාශය මෙකී රබාත් පරික්ෂාව සමත් නොවන බැවින් අයිසීසීපීආර් පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව දරණ උත්සහය ආණ්ඩු විරෝධින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උදුරා ගැනීමක් බව පෙනේ.
මෙයට දේශප්‍රේමිත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය
නීතිඥ බූපති කහතුඩුව
නීති ලේකම්