බස් හෝල්ට්වල වාහන නවත්වන රියදුරන්ට පොලීසියෙන් රතු එළියක්

Report

පොදු මගී ප්‍රවාහන බස් රථ නවත්වන ස්ථාන අවහිර වන පරිදි වෙනත් වාහන නතර කර තැබීමට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දෙයි.

බස් නැවතුම් ස්ථානවල වෙනත් වාහන නතර කර තැබීම හේතුවෙන් බස් රථ මාර්ගයේ මැද නතර කිරීමට සිදුවන අතර, එමඟින් මාර්ග තදබදයක් ඇතිවීම මෙන්ම මගීන්ගේ ජීවිතවලටද අවදානම් තත්ත්වයක් මතුවන බව පොලීසිය පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ, ආබාධිත පුද්ගලයන්ට රෝද පුටු මඟින් ගමන් කළ හැකි පහසුකම් සහිත බස් රථ සේවාවක්ද මේ වනවිට ක්‍රියාත්මක බැවින්, එවැනි බස් රථවලට බස් නැවතුම් ස්ථාන වෙත පහසුවෙන් ළඟා වීමට හැකි වන පරිදි එම ස්ථාන අවහිරතාවලින් තොරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි.

"අම්මා බලන්න මම යන්නේ නැහැ" - බැකෝ සමන් මවගේ මළගෙදර නොයෑමට හේතුව මෙන්න

"අම්මා බලන්න මම යන්නේ නැහැ" - බැකෝ සමන් මවගේ මළගෙදර නොයෑමට හේතුව මෙන්න

බස් නැවතුම් ස්ථාන වෙනත් වාහනවලින් අවහිර කර තිබීම හේතුවෙන් ආබාධිත පුද්ගලයන්ට මෙන්ම අනෙකුත් මගීන්ටද බස් රථවලට ගොඩවීමේදී සහ ඉන් බැසීමේදී අනතුරුදායක තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක්ද නිකුත් කර ඇති අතර, එමඟින් බස් නැවතුම් ස්ථානයකට ළඟාවන ප්‍රදේශයේ මීටර් 30ක් ඇතුළත සහ බස් නැවතුම් ස්ථානයෙන් පිටවන ප්‍රදේශයේ මීටර් 15ක් ඇතුළත වෙනත් වාහන නතර කර තැබීම තහනම් කර තිබේ.

එමෙන්ම බස් නෙරුව (Bus Bay) සහිත බස් නැවතුම් ස්ථානවල, බස් රථ ළඟා වන දෙසින් මීටර් 15ක් ඇතුළත සහ පිටවන දෙසින් මීටර් 10ක් ඇතුළත වෙනත් වාහන නතර කර තැබීමද තහනම් කර ඇත.

මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් ඔවුන්ට බස් රථවලට ආරක්ෂිතව ගොඩවීමට සහ බැසීමට හැකි පරිසරයක් පවත්වාගෙන යාමේ අරමුණින්, බස් නැවතුම් ස්ථානවල වෙනත් වාහන නතර කර තබන රියැදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඩොලර් ගිලින ඉන්ධන ආනයනය - 2026 මුල් මාස හය කාලයේදී වැයවූ මුදල මෙන්න

ඩොලර් ගිලින ඉන්ධන ආනයනය - 2026 මුල් මාස හය කාලයේදී වැයවූ මුදල මෙන්න