යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක් - පොලිස් සැරයන්වරයෙක් මරුට
යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව, නවගම ප්‍රදේශයේදී අද (18) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලීසිය පවසයි.
වවුනියාව මූලස්ථාන පොලීසිය වෙත අනුයුක්තව සේවය කළ 46 හැවිරිදි මෙම පොලිස් සැරයන්වරයා, සිය රාජකාරි කටයුතු නිමවා යතුරුපැදියෙන් වවුනියාව ඊරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා ගමන් කරමින් සිටියදී මෙලෙස ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
මෙම මාරක රිය අනතුරට හේතු වූ ටිපර් රථය සහ එහි රියදුරුව වවුනියාව පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.