නීතියට පිටින් ධාවනය කළ යතුරුපැදි 16ක් පොලිස් දැලේ – සැකකරුවන් 16 දෙනෙකුත් අත්අඩංගුවට
හෝමාගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස වෙනස් කිරීම් සිදුකර තිබූ යතුරුපැදි 16ක් සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ අධික වේගයෙන්, අධික ශබ්දයක් නිකුත් කරමින් සහ අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කරන බවට ලැබුණු තොරතුරු මතය.
එහිදී පරීක්ෂා කළ යතුරුපැදි අතර නීතිවිරෝධී ලෙස මුල් ආකෘතිය වෙනස් කළ ඒවා හඳුනාගෙන තිබේ. එම යතුරුපැදිවල සයිලන්සර වෙනස් කර තිබීම, පැති කණ්ණාඩි නොමැති වීම, මඩ ආවරණ ඉවත් කර තිබීම, අංක තහඩු නොමැති වීම සහ ආලෝක පද්ධති වෙනස් කර තිබීම වැනි අඩුපාඩු නිරීක්ෂණය වී ඇත.
පොලිසිය සඳහන් කළේ, අදාළ යතුරුපැදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා පොලිස් භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් යතුරුපැදි ධාවකයින් ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන් ලබන 22 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.