ශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රයට නව පෙරළියක් කරමින් සූර්ය බලයෙන් දුවන නිවාස සංකිර්ණයක්
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන සමාගමක් වන එක්සෙලෝ ඩිවෙලපර්ස් (Excello Developers) විසින් සූර්ය බලයෙන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන නව නේවාසික නිවාස ව්‍යාපෘතියක් වන "ආතාවන් බයි එක්සෙලෝ (Aathavan by Excello)" දියත් කර තිබේ.
දෙහිවල කැරන් පෙදෙසේ (Carron Place) ඉදිකෙරෙන මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ ආරම්භක මිල රුපියල් මිලියන 38ක් වන අතර, දිගුකාලීන ආයෝජන වටිනාකමක් සහිත නිවාස විසඳුමක් ලෙස එය හඳුන්වා දී ඇත.
එක්සෙලෝ ඩිවෙලපර්ස්හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සුබාෂ් තවරාජසිංගම් සඳහන් කළේ, සුඛෝපභෝගී පෙනුමකට පමණක් නොව, ජනතාවගේ සැබෑ දෛනික අවශ්‍යතා මූලික කරගනිමින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කළ බවයි. ඔහු පෙන්වා දුන්නේ සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම පද්ධතිය හරහා පරිසර හිතකාමී නිවාස සංකල්පයක් ප්‍රවර්ධනය කරන අතරම, නඩත්තු වියදම් සහ විදුලි ගාස්තු ඉහළ යාමේ බලපෑමෙන් නිවාස හිමියන් ආරක්ෂා කිරීමටද හැකි වන බවයි.
මහල් අටකින් සමන්විත මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකක 44ක් ඉදිකෙරෙන අතර, වර්ග අඩි 1,020ක නිදන කාමර දෙකකින් යුත් නිවාස සහ වර්ග අඩි 1,380ක නිදන කාමර තුනකින් සමන්විත නිවාස ඇතුළත් වේ. සමාගම පවසන්නේ, වෙළෙඳපොළ සමීක්ෂණ සහ ජනතා අදහස් සැලකිල්ලට ගනිමින් මෙම නිවාස සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව, රෝගීන් සහ වැඩිහිටියන්ගේ පහසු ගමනාගමනය සඳහා ඇඳන් ප්‍රවාහනය කළ හැකි සේවා සෝපානයක්ද (Service Lift) ව්‍යාපෘතියට ඇතුළත් කර තිබේ. ව්‍යාපෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ ජල ප්‍රතිචක්‍රීකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමයි.
එමඟින් වාහන සේදීම සහ උද්‍යාන නඩත්තුව සඳහා ජලය නැවත භාවිත කළ හැකි වේ. මීට අමතරව, වහල මහලේ ඇවිදීමේ සහ දිවීමේ මංතීරු මෙන්ම සම්පූර්ණයෙන්ම සන්නද්ධ ව්‍යායාම් ශාලාවක්ද ඉදිකිරීමට සැලසුම් කර ඇත.
ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු පළමු වසර දෙක තුළ එහි කළමනාකරණය සෘජුවම එක්සෙලෝ ඩිවෙලපර්ස් විසින් සිදුකරන අතර, කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ ව්‍යාපෘති කළමනාකරණ පද්ධතියක් භාවිත කරමින් ඉදිකිරීම්වල විනිවිදභාවය සහ නියමිත කාලසටහන් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද සමාගම සඳහන් කරයි.
එමෙන්ම, නව නිවාස ගැනුම්කරුවන්ට පහසු ගෙවීම් ක්‍රමවේද සහ විශේෂ බැංකු ණය පහසුකම්ද මෙම ව්‍යාපෘතිය සඳහා හඳුන්වා දී තිබේ.