හිටපු පොලිස්පති සී.ඩීගේ නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන - ගිනි අවිය රස පරීක්ෂක වෙත යොමු කරයි

Report

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන පිස්තෝල වර්ගයේ ගිනි අවිය වැඩිදුර විද්‍යාත්මක විමර්ශන සඳහා ලබන සඳුදා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා ප්‍රකාශ කළේ, අදාළ ගිනි අවිය අධිකරණය වෙත ඉදිරිපත් කර කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙලෙස රස පරීක්ෂකවරයා වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ අතර, ඊයේ (17) මාලබේ තලාහේන පිහිටි සිය නිවසේදී පපුවේ දකුණු ප්‍රදේශයට වෙඩි වැදීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ හිටපු පොලිස්පතිවරයාගේ අවසන් කටයුතු ලබන සඳුදා සිදුකිරීමට පවුලේ ඥාතීන් තීරණය කර තිබේ.

ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සංවිධානය වෙමින් පවතී.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලඹේ පොලිස් ස්ථානය ඒකාබද්ධව පුළුල් විමර්ශන මාලාවක් ක්‍රියාත්මක කරයි.

එහි එක් පියවරක් ලෙස, මරණය සිදුවීමට පෙර දින කිහිපය තුළ හිටපු පොලිස්පතිවරයා හමුවීමට ඔහුගේ නිවසට පැමිණි බාහිර පුද්ගලයින් කවුරුන්ද යන්න සෙවීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අදාළ නිවසේ සවිකර ඇති සී.සී.ටී.වී. (CCTV) කැමරා දර්ශන ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන පරීක්ෂා කරමින් පවතී.

පෞද්ගලික හේතුවක් මත සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය සැක කරන අතර, ඒ වන විට නිවසේ සිටි ඔහුගේ බිරිඳගෙන් ද පොලිසිය මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

තමන්ගේ පුත්‍රයා සම්බන්ධයෙන් පවතින අධිකරණමය ගැටලුවක් හේතුවෙන් සිය සැමියා පසුගිය දිනවල දැඩි මානසික කම්පනයකින් සහ පීඩනයකින් පසුවූ බව ඇය පොලිසිය හමුවේ වැඩිදුරටත් අනාවරණය කර තිබේ.