මදුරුවන් බෝවන පරිසර පවත්වාගෙන ගිය 4,672කට නඩු – පොලිසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්
මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය අවසන් වන තෙක් දිවයින පුරා සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුම්වලදී මදුරුවන් බෝවීමට හිතකර පරිසර පවත්වාගෙන ගිය පුද්ගලයින් 4,672 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි.
එම මෙහෙයුම්වලදී මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාම හෝ එවැනි තත්ත්වයන්ට ඉඩ සලසන ආකාරයෙන් පරිශ්‍ර අපිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 262 වැනි වගන්තිය යටතේ අධිකරණයේ නඩු පැවරිය හැකි බවද පොලිසිය අවධාරණය කරයි.
එමෙන්ම 2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනතට අනුව, මදුරුවන් බෝවීමට හිතකර පරිසර පවත්වාගෙන යන ස්ථාන සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීමේ නීතිමය බලය සෞඛ්‍ය අංශ වෙත පවතින බවද නිවේදනයේ සඳහන් වේ.
එවැනි රතු නිවේදනයක සඳහන් උපදෙස් නියමිත කාලසීමාව තුළ ක්‍රියාත්මක නොකරන පුද්ගලයින්ට එම පනතේ 6 වැනි වගන්තිය යටතේ රුපියල් 25,000ක උපරිම දඩ මුදලක් නියම කළ හැකි බවද පොලිසිය මහජනතාවට දැනුම් දී තිබේ.