අහසින් වැටුණු අද්භූත වස්තුවක්? සාම්පූර් වෙරළ තීරයේ කලබලයක් [PHOTOS]
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් - මලයිමුන්ඩල් මුහුදු ප්‍රදේශයේ වෙරළට ඊයේ (28) සවස ගසාගෙන ආ දැවැන්ත ලෝහ වස්තුවක් ප්‍රදේශවාසීන් අතර කැළඹීමක් ඇති කර තිබේ.
මූලික වාර්තා අනුව, මෙම වස්තුව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් දියත් කරන ලද රොකට්ටුවක කොටසක් විය හැකියි. රොකට්ටුවේ තාප පලිහ (heat shield) හෝ ඉන්ධන ටැංකියේ කොටසක් බවට සැක පළ වෙයි.
පසුගිය දින කිහිපය තුළ ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ මෙම ලෝහ කොටස, මුහුදු ධාරා හේතුවෙන් වෙරළට ගසාගෙන ආ බව වාර්තා වේ. එය දුටු ධීවරයින් වහාම ආරක්ෂක අංශවලට දැනුම් දී ඇත.
සාම්පූර් පොලිසියේ උපදෙස් මත නාවික හමුදා නිලධාරීන් එම ස්ථානයට යොදවා ඇති අතර, පරීක්ෂණ අවසන් වන තුරු මහජනතාවට එම වස්තුව අසලට ආසන්න වීම තහනම් කර තිබේ.
රොකට් දියත් කිරීමේදී විවිධ අවස්ථාවලදී කොටස් වෙන් වී පෘථිවියට ආපසු පතිත වීම සාමාන්‍ය ක්‍රියාවලියකි. ඉන්දියාවේ ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කරන රොකට්වල සුන්බුන් වරින් වර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජල තලයේ හමුවීම සුලභ සිදුවීමකි.

