සංගීත ප්‍රසංගයකදී විශාල ගැටුමක් - පොලිස් නිලධාරියාට පිහියෙන් අනියි .

conflict padukka Musical show
By Sithumi Feb 27, 2022 11:25 AM GMT
Sithumi

Sithumi

Report

පාදුක්ක මහජන ක්‍රීඩාංගනයේදී පැවැති සංගීතයක් අතරතුරදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් මැඩපැවැත්වීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුගේ පපුවට පිහියකින් ඇන බරපතළ තුවාල කර ඇතැයි පාදුක්ක පොලීසිය පවසයි.

ඊයේ (26) රාත්‍රියේ මෙලෙස තුවාල ලබා ඇත්තේ පාදුක්ක පොලීසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන (92513) මධුසංඛ නැමති පොලිස් කොස්තාපල්වරයෙකි. බරපතළ තුවාල ලැබු කොස්තාපල්වරයා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් උල් පිහියක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. 

 මහජන ක්‍රීඩාංගනයට මඳක් දුරින් පිහිටි රථගාල තුළදී සංගීතය නරඹා පිටවී යමින් සිටි කාන්තාවකගේ ශරීරය ස්පර්ශ කිරීම හේතුවෙන් දෙපාර්ශවයක් අතර ගැටුමක් හට ගෙන තිබේ. පසුව එය සමතයකට පත්කිරීම සඳහා එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් අතර සිටි කොස්තාපල්වරයෙකු එම ස්ථානයේ සිටි අයෙක් පිහියකින් ඇන ඇතැයි පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

පිහි ප්‍රහාරය කොස්තාපල්වරයාගේ පපුවේ දකුණු පසට එල්ල වී ඇතැයි වාර්තා වේ. තුවාල ලැබු කොස්තාපල්වරයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පාදුක්ක බෝපේ සහ අරකාවිල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 


Join now