තායිවාන් ගැටලුවට ඉන්දියාවේ පැහැදිලි පිළිතුර
තායිවානය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුවී නැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කර ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, ජයිශංකර් මහතා මෙම ස්ථාවරය චීනයට නිල වශයෙන් දැනුම් දී තිබේ.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි අතර, එහිදී ඔහු ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවලට එක්ව තිබිණි. එම අවස්ථාවේදී ජයිශංකර් මහතා තායිවානය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය චීනයට පැහැදිලි කර ඇත.
"තායිවානය සම්බන්ධයෙන් අපගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැත. ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම ඉන්දියාවද තායිවානය සමඟ ආර්ථික, තාක්ෂණික සහ සංස්කෘතික සබඳතාවලට අවධානය යොමු කර ඇත. මෙම සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙමු," යනුවෙන් ජයිශංකර් මහතා සඳහන් කර තිබේ.
නවදිල්ලියට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ (20) ජයිශංකර් මහතා හමුවූ අතර, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සමඟ දේශසීමා ගැටලුව පිළිබඳ විශේෂ නියෝජිත මට්ටමේ සාකච්ඡාවලටද සහභාගී විය.