මේ පිළිකා තියෙන රෝගීන්ට සතුටු හිතෙන නිවේදනයක් - ආයේ ඇති වෙන්නේ නෑ
ඉකුත් කාලයේ කොරෝනා එන්නත සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන මොඩර්නා (Moderna) සහ මර්ක් (Merck) සමාගම් එක්ව නිපදවූ පර්යේෂණාත්මක පිළිකා මර්දන එන්නතක් මඟින් මෙලනෝමා (melanoma) රෝගීන්ගේ රෝගය නැවත ඇතිවීමේ හෝ මරණයට පත්වීමේ අවදානම සැලකිය යුතු මට්ටමකින් අවම කර ඇති බවට නවතම සායනික පරීක්ෂණයක පස් අවුරුදු දත්ත වාර්තාවලින් තහවුරු වී ඇත.
ඒ අනුව මෙලනෝමා (Melanoma) යනු සමේ වර්ණක නිපදවන මෙලනොසයිට් සෛල ආශ්‍රිතව හටගන්නා අතිශය දරුණුතම චර්ම පිළිකා තත්ත්වයක් බවට වෛද්‍ය විද්‍යාව හඳුනාගෙන ඇත. ප්‍රධාන ලෙසම සූර්යාලෝකයෙන් හෝ කෘතිම සම් පදම් කිරීමේ උපකරණ (Tanning beds) මඟින් නිකුත් කරන පාරජම්බුල කිරණවලට (UV) අධික වශයෙන් නිරාවරණය වීම මෙහි මූලිකම හේතුව වශයෙන් සැළකේ.
එසේම වෛද්‍ය පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත්තේ ශරීරයේ ඕනෑම ස්ථානයක, එනම් මුහුණ, අත් පා සහ පිටකොන්දේ පමණක් නොව ඇස් තුළ, පතුල්වල හෝ නියපොතු යට පවා මෙම පිළිකාමය තත්ත්වය වර්ධනය විය හැකි බවයි.
මේ අතර මොඩර්නා (Moderna) සහ මර්ක් (Merck) සමාගම් දෙක මඟින් ඉකුත් අඟහරුවාදා නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මර්ක් සමාගමේ කීට්රඩා (Keytruda) ප්‍රතිශක්තිකරණ ඖෂධය සමඟ මෙම නව එන්නත ඒකාබද්ධව ලබා දුන් රෝගීන්ගේ අවදානම, කීට්රඩා ඖෂධය පමණක් ලබා දුන් රෝගීන්ට සාපේක්ෂව 49% කින් අඩු වී ඇති බව අදියර 2b (Phase 2b) සායනික පරීක්ෂණ දත්ත පෙන්වා දෙන බව සඳහන්.
එමෙන්ම මීට පෙර මෙම අධ්‍යයනයට අදාළව නිකුත් කරන ලද තුන් අවුරුදු දත්ත වාර්තා ඔස්සේද ඉතා යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර තිබූ අතර, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ රෝගය යළි ඇතිවීම පාලනය කිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රතිකාර ක්‍රමය අඛණ්ඩව සායනිකව වැදගත් ප්‍රගතියක් පෙන්නුම් කරන බව ද සමාගම් බලධාරීන් සඳහන් කරයි.
ඒ අනුව මෙවැනි දිරිගන්වනසුලු ප්‍රතිඵල මඟින් පිළිකා ප්‍රතිකාරවලට mRNA තාක්ෂණයේ ඇති විභවය මනාව පෙන්නුම් කරන බවත්, ඒ නිසා පිළිකා රෝග අංශය සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමට තම සමාගම කටයුතු කරන බවත් මොඩර්නා සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කයිල් හෝලන් (Kyle Holen) මහතා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම වර්තමානය වන විට මෙම ඖෂධ සමාගම් ද්විත්වය මඟින් මෙලනෝමා, පෙනහළු පිළිකා, මුත්‍රාශ පිළිකා සහ වකුගඩු ආශ්රිත පිළිකා ඇතුළු විවිධ පිළිකා වර්ග කිහිපයක් ඉලක්ක කර ගනිමින් තවත් අදියර 2 සහ 3 මට්ටමේ සායනික පරීක්ෂණ අටක් පමණ සිදු කරමින් පවතින බව ද සඳහන්.