මීගමුව බන්ධනාගාරයේ මරණ 32ක් ගැන විමර්ශන - ප්‍රධාන ජේලර් ඇතුළු 20කට නොතිසි
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා පුද්ගලයන් 20 දෙනෙකුට නොතිසි නිකුත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ. ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 20 දෙනෙකුට ලබන සැප්තැම්බර් 8 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය නඩු වාරයේදී මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 70 දෙනෙකු නම් කර තිබූ අතර, අද නඩු වාරයේදී සැකකරු අංක 1 සිට 6 දක්වා වූ පුද්ගලයන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත්, සෞඛ්‍ය හේතුවක් සහ වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් සැකකරුවන් දෙදෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ. ඒ වෙනුවට සැකකරුවන් සිව්දෙනෙකු සහ ඔවුන් හඳුනාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකරුවන් සිව්දෙනෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
අද අධිකරණයට ඉදිරිපත් නොකළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ලිඛිත දැනුම්දීමක්ද ඉදිරිපත් කර ඇත.