මීගමුව ජනතාවට සුබ පණිවිඩයක්
වසර දහයකට අධික කාලයක් භාවිතයෙන් ඉවත්කර තිබූ මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය ප්‍රතිසංස්කරණය කොට නව උපකරණ සමග ආරම්භ කිරීමේ අවස්ථාවට අද (14) දින වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ 2000 වර්ෂයේ දී ඉදිකළ අටමහල් ගොඩනැගිලි සංකීර්ණයේ 7 වන මහලේ ස්ථාපනය කර ඇති මෙම ශල්‍යාගාර සංකීර්ණය ජලය කාන්දුවීම හා විවිධ තාක්ෂණික ගැටලු හේතුවෙන් 2015 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම ශල්‍යාගාර සංකීර්ණය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අධික මුදලක් ඇස්තමේන්තුගත කිරීම හා විවිධ හේතූන් නිසා මෙහි ප්‍රතිසංස්කරණ ප්‍රමාද වී තිබේ.
මෙරට රෝහල් පද්ධතියේ භෞතික සම්පත් සංවර්ධනයට ගෙනයන වැඩපිළිවෙළ යටතේ රජයේ අරමුදල් හරහා වෙන් කරන ලද රුපියල් මිලියන 70 ක මූල්‍ය පිරිවැයක් යටතේ මෙම ශල්‍යාගාර සංකීර්ණය නවීකරණය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු රුපියල් මිලියන 30 ක පමණ මුදලක් ද මෙම නවීකරණය කරන ලද ශල්‍යාගාර සංකීර්ණයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සදහා වැය කර ඇත.
ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව රෝහලේ විශේෂ නිරීක්ෂණයකද නිරත වෙමින් රෝහලේ පවතින කාලීන ගැටලු පිළිබදව කරුණු සාකච්ඡා කොට විසදුම් ලබා දීමටද අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.
මෙම අවස්ථාවට ගරු ඩැරල් කූඤ්ඤේ පියතුමන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, මීගමුව නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එම්.එච්.අයි.සී. හේරත්, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ යන මහත්ම මහත්මීන් ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ව්‍යාපෘති හවුල්කරුවන් නියෝජනය කරමින් නියෝජිතයන් සහ රෝහල් සේවකයන් ඇතුළු පිරිසක් සහභාගී විය.