වියළි මිරිස් කන්ටේනර් 64ක් රේගුවේ හිරවෙයි - මිරිස් මිල තවත් ඉහළ යයිද?
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ වියළි මිරිස් අඩංගු බහාලුම් 64ක් පමණ අවශ්ය ප්රමිති අනුමැතිය නොලැබීම හේතුවෙන් රේගු භාරයේ රඳවා ඇති බව වාර්තා වේ.
රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කර ඇත්තේ අදාළ වියළි මිරිස් තොග නිදහස් කර ගැනීම සඳහා ආහාර පරීක්ෂණ අධිකාරිය, ශාක නිරෝධායන සේවය සහ ශ්රී ලංකා ප්රමිති ආයතනය යන ආයතන තුනේම අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවයි.
එම අනුමැතීන් නොමැතිව රේගු පද්ධතිය හරහා භාණ්ඩ නිදහස් කළ නොහැකි බව ද ඔහු පෙන්වා දී තිබේ.
දැනට රඳවා ඇති බහාලුම් අතරින් 33කට ශ්රී ලංකා ප්රමිති ආයතනයේ අනුමැතිය හිමිව නොමැති අතර, තවත් බහාලුම් 30ක් පමණ අනුමැතිය ලැබෙන තෙක් රඳවා තබා ඇත.
ප්රමිතියෙන් තොර බවට තහවුරු වීම හේතුවෙන් විනාශ කිරීමට නියෝග කළ බහාලුම් කිහිපයක් ද ඒ අතර වන බව සඳහන් වේ.
අත්යවශ්ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ රේගුවේ සිරවී ඇති මෙම බහාලුම්වල රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් වියළි මිරිස් කිලෝ ලක්ෂ 9කට වැඩි ප්රමාණයක් පවතින බවයි.
මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී දිවයින පුරා වියළි මිරිස් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව තොග වෙළෙඳුන් පෙන්වා දෙයි.
මේ අතර, පිටකොටුව තොග වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක මිල මේ වනවිට රුපියල් 1,600ක් දක්වා ඉහළ ගොස් තිබේ.