ආණ්ඩුවේ පොරොන්දු සේරම ෆේල් - වැට් බදු, තෙල් මිල සහ IT බදු ගැන නාමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී දැවැන්ත ප්‍රහාරයක්
වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වී ඇති බවත්, ජීවන වියදම පාලනය කිරීම, බදු බර අඩු කිරීම සහ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාදීම පිළිබඳව විපක්ෂයට විරෝධයක් නොමැති නමුත්, නැවෙන් ඉන්ධන ගොඩබාන මිලටම ජනතාවට ඉන්ධන ලබාදෙන බවට මුලින් ලබාදුන් පොරොන්දුව දැන් ප්‍රායෝගික නොවන බවට ආණ්ඩුව පවසන බවයි.
එම පොරොන්දුව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ලබාදුන් එකක් බැවින්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා බදු වැඩි නොකළ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද, බලයට පැමිණීමට පෙර පාසල් උපකරණ, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වැට් බද්ද ඉවත් කරන බවට ලබාදුන් පොරොන්දුව ඉටු කර නොමැති බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒවෙනුවට වැට් බදු වැඩි කිරීම, බැංකු තැන්පතුවල පොලී ආදායමට බදු පැනවීම, වාහන බදු ඉහළ දැමීම සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සේවා සපයන්නන්ට බදු පැනවීම සිදුකර ඇති බවද ඔහු චෝදනා කළේය.
තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිගන්නා නමුත්, එම ක්ෂේත්රයේ ස්වයං රැකියාවල නිරත වන සහ තමන්ගේම උත්සාහයෙන් ව්‍යාපාර ගොඩනගන පුද්ගලයන්ට ප්‍රමාණවත් රාජ්‍ය සහයෝගයක් නොමැතිව බදු බර පැටවීම ගැටලුවක් බවද ඔහු සඳහන් කළේය.
ඩිජිටල්කරණය පිළිබඳව ආණ්ඩුව ප්‍රකාශ කළද, ඉන්ධන සහ ගෑස් පෝලිම් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමේ ගැටලු තවමත් පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඕනෑම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පෙර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සහ පද්ධති සකස් කළ යුතු බව අවධාරණය කළේය.
ජනතාව මුහුණදෙන ජීවන වියදම් ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉන්ධන මිලට යම් සහනයක් ලබාදෙන අතරම ඒ සඳහා පනවා ඇති බදු ඉහළ දැමීමෙන් ජනතාවට සැබෑ සහනයක් හිමි නොවන බවයි.
කිරිපිටි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ පාන්පිටි ඇතුළු භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති නමුත් ජනතාවගේ ආදායම් ඊට සමානුපාතිකව වැඩි වී නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු විසඳීම, හානි වූ මාර්ග සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රමාද වී ඇති බවටද ඔහු චෝදනා කළේය.
ආයෝජන සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාකාරීත්වය අතර පරස්පරතා පවතින බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා, රට තුළ නව රැකියා අවස්ථා කොපමණ ප්‍රමාණයක් නිර්මාණය කර තිබේද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව සඳහන් කළේය.
ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය නොකර නව නීති හඳුන්වාදීමෙන් දැනට සිටින ආයෝජකයන් පවා රටින් ඉවත්වීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
ත්‍රස්තවාදය සහ අන්තවාදය මර්දනය කිරීම සඳහා නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණද, පුද්ගලයන්ගේ පච්ච, කොණ්ඩා මෝස්තර හෝ ඇඳුම් විලාසිතා පදනම් කරගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම සාධාරණ නොවන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
යෝජිත සංවිධානාත්මක අපරාධ මර්දන පනත ඇතුළු නීති සකස් කිරීමේදී ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදී නිදහස ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
පොලිසිය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලන අවශ්‍යතා සඳහා භාවිත කිරීම, අසත්‍ය සාක්ෂි සකස් කිරීම සහ නිසි විමර්ශනයකින් තොරව පුද්ගලයන්ට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන්ද ඔහු ආණ්ඩුව විවේචනය කළේය. පොලිස් අත්අඩංගුවේදී තරුණයන් මියයන සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පැවැත්විය යුතු බවත්, පොලිස් නිලධාරීන්ට දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරි කිරීමට අවශ්‍ය පරිසරය සකස් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගංජා වගාවක් වැටලීමේ සිද්ධියකට අදාළව පොලිස් නිලධාරියකුට මුහුණදීමට සිදුවූ බව කියන ගැටලු සහ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොවීම පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.
එමෙන්ම, කාවන්තිස්ස ඇතා සම්බන්ධ සිදුවීමේදී සැබෑ වැරදිකරුවන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට වෙනත් පුද්ගලයන්ගෙන් වැරදි පිළිගැනීමට බලපෑම් කරන බවට චෝදනා මතුවී ඇති බවද ඔහු පැවසීය.
අවසානයේදී ඔහු අවධාරණය කළේ, රටට ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට නම් විශ්වාසදායක සහ ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කළ යුතු බවයි.
ජනතාවට අවශ්‍ය රැකියා අවස්ථා ලබාදීම සහ ආර්ථිකය ශක්තිමත් කිරීම ප්‍රචාරණයෙන් පමණක් කළ නොහැකි බවත්, ඒ සඳහා පැහැදිලි සැලැස්මක් සහිත ක්‍රියාකාරී වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.