පොලිස් නිලධාරීන් 208ක් අත්අඩංගුවට - 1,500කගේ වැඩ තහනම්
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වීම හේතුවෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, විවිධ විෂමාචාරයන් සම්බන්ධයෙන් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසකගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ පොලිසිය තුළ දූෂිත නිලධාරීන් සිටින බව පිළිගන්නා අතර, ඔවුන් හඳුනාගෙන සේවයෙන් ඉවත් කිරීමටත්, ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු යොදා ඇති බවයි.
අත්අඩංගුවට ගත් නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ද හෙතෙම අනාවරණය කළේය.
එමෙන්ම, 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් ගැහැණු ළමුන් 233 දෙනෙකු ඇතුළුව ළමුන් 11,131 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
පාසල්, උපකාරක පන්ති සහ ෆේස්බුක් සාද ආශ්‍රිතව අයිස් පැකට්, බොම්බේ මොටයි සහ සාරවිට වැනි දෑ හරහා මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම වැළැක්වීමට බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පැවසූ ඒ මහතා, දරුවන්ගේ හැසිරීම්, ආහාර පුරුදු සහ මිතුරු සබඳතාවල වෙනසක් ඇත්නම් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.