දැන් රටෙන් බාගයක් බඩගින්නේ මිනිස්සුන්ට තුන්වේල කන්න විදිහක් නෑ - නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ රටෙන් අඩක් බඩගින්නේ පසුවන බවට වාර්තා පළවන අතරවාරයේ, ජනාධිපතිවරයාට 75%ක ජනප්‍රියතාවක් පවතින බවට පළවන වාර්තාවල පැහැදිලි පරස්පරතාවයක් පවතින බවයි.
පුත්තලමේ පැවැති කොට්ඨාස රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ ජනතාවට තුන්වේල කෑමට නොමැති පසුබිමක මෙවැනි ජනප්‍රියතාවක් පැවැතිය නොහැකි බවත්, මෙම වාර්තා දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම අසත්‍යයක් විය යුතු බවත්ය.
වත්මන් ආණ්ඩුව අලුත් දේශපාලන සංස්කෘතියක් උදෙසා බලයට පැමිණිය ද, මේ වන විට යල්පැනගිය සහ සාම්ප්‍රදායික පාලන ක්‍රමවේදයක් අනුගමනය කරමින් ජනතාව තදින් පීඩාවට පත්කරමින් සිටින බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.
ආණ්ඩුව අසීමිත ලෙස බදු බර පටවමින් දේශීය ව්‍යාපාරිකයන් සහ කර්මාන්තශාලා කඩාබිඳ දමන බවත්, රෝහල්වල ඖෂධ හිඟය සහ බස්නාහිර පළාතේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තමන්ගේ ආණ්ඩු සමයේ බදු අඩු කරමින් නිෂ්පාදන පිරිවැය පාලනය කළ බව මතක් කළ ඔහු, වත්මන් පාලනය යටතේ සංස්කෘතික හා ආගමික වටිනාකම් පවා ඈත් කරමින් සිටින බව පැවසීය.
සිය නොහැකියාව වසාගැනීමට ආණ්ඩුව ජනතාව සහ ව්‍යවසායකයන් මර්දනය කිරීමට උත්සාහ කරන බවත්, හිස් කයිවාරුවලින් පමණක් දීර්ඝ කාලීන පාලනයක් පවත්වාගෙන යා නොහැකි බවත් පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, දේශීය අනන්‍යතාව සහ මහා පොළොවේ යථාර්ථය සුරකින නව දේශපාලන බලවේගයක් වටා එකතු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එහිදී අදහස් දැක්වූ ඔහු,
"දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. දැන් මේ ඇත්ත කියන්නේ කවුද? එක්කෝ බඩගින්නේ ඉන්න වාර්තාව බොරු වෙන්න ඕනේ, මොකද බඩගින්නේ ඉන්න කෙනා මේ අනුර කුමාරට කැමතියි කියන්න විදිහක් නැහැනේ, මිනිස්සුන්ට තුන්වේල කන්න විදිහක් නැත්නම්. එහෙම නැත්නම් අර වාර්තාව හදපු කෙනා බොරු කියන්න ඕනේ.අද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ආගමික සිද්ධස්ථානයක ගනුදෙනු කරනවා කියන එක නිකන් ගැණි ගැරඬින්ට බූමිතෙල් ගහනවා වගේ වැඩක් වෙලා තියෙනවා. නාවන්න වල්ලු ගෙනියනවා වගේ අරගෙන යන්න වෙලා තියෙනවා. අපේ සංස්කෘතිය මේ රටේ සමාජයෙන් ඈත් කරන්න ඔවුන් උත්සාහ කරනවා."