පාස්කු ප්‍රහාරය ගැන අහන්න ප්‍රශ්න අපිටත් තියෙනවා - මුජිබර් කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා ප්‍රකාශයක් කරන බවට කී බවත්, ඒ අනුව එම ප්‍රකාශය 21 වනදා සිදු කරන තෙක් රටේ ජනතාව බලාගෙන සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
පසුගිය කාලයේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මතු කළ කාරණා පිළිබඳ ආණ්ඩුව ප්‍රකාශයක් කරනු ඇති බවට බලාපොරොත්තු වන බව ඊයේ (20) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ,
“පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව මේ ආණ්ඩුව විශාල පොරොන්දුවක් ලබා දුන්නා ජනතාවට. ආණ්ඩුව ආපු ගමන් මේ පිළිබඳව ඇත්ත තත්ත්වය, මේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස හිටපු අය පිළිබඳව හෙළිදරව් කරනවා කියන එක. අපි සියලු දෙනාම දන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරය සහරාන් විසින් කරපු අමානුෂික ත්‍රස්තවාදී ක්‍රියාවක් කියන එක. සහරාන්ට උදව් කරපු හා සහරාන්ට මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන්න යම් සහයෝගය ලබා දුන් පිරිසක් ඉන්නවා කියන එක මුලු රටම අද පිළිගන්නවා. ඒක තමයි ඇත්ත කතාව.
ඒ පිළිගැනීම තුළ තමයි ජනතා විමුක්ති පෙරමුණත්, මේ ආණ්ඩුවත් ජනතාවට පොරොන්දුවක් දුන්නේ අපි ආපු ගමන් මේ සහරාන්ට දේශපාලනිකව උදව් කරපු උදවිය, මූල්‍ය වශයෙන් උදව් කරපු උදවිය , ඒ වගේම බෝම්බ හැදීම සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා දුන් උදවිය , සහරාන් මෙහෙයවපු කණ්ඩායම එළියට ගේනවා කියන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිඥාව වුණේ. දැන් ඒ ප්‍රතිඥාව සම්බන්ධව ජනාධිපතිවරයා පසුගිය සති කිහිපයකට කලින් ප්‍රකාශ කළා මේ මාසයේ 21 වැනිදාට ප්‍රකාශයක් කරනවා කියලා. ඒ ප්‍රකාශය සම්බන්ධව අපි බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා ඒ ප්‍රකාශය කරනකන් .
අපි දැක්කා පසුගිය සතිය තුළත් මේ සම්බන්ධව උනන්දු වෙලා කටයුතු කරන සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන් කරුණු ගණනාවක් හෙළිදරව් කළා. මේ කරුණු වල, මේ විමර්ශනවල තිබෙන ප්‍රගතිය ගැන. ඒ නිසා අපිටත් තිබෙනවා ප්‍රශ්න කිහිපයක් ආණ්ඩුවෙන් අහන්න. එක ප්‍රශ්නයක් තමයි මේ සාරා ජස්මින් කියන තැනැත්තිය පසුගිය කාලයේම මේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන්ගේ ළඟින් ඉඳලා විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්.ඒ වගේම සාරා ජස්මින් සායිනදමරුදුවල පිපිරුණු බෝම්බයේදී ඇය බේරුණා කියන එක සහරාන්ගේ බිරිඳගේ සාක්ෂිවල ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වෙලා තියෙනවා. ඊළඟට ඩී.එන්.ඒ පරීක්ෂණ කළාමත්, මළ සිරුරු පරික්ෂා කිරීමේදී තහවුරු වුණා. එහෙම නම් සාරා ජස්මින් ගැන පසුගිය කාලයේ මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු විශාල ලෙස ඔවුන් කියාපෑවා එයා ඉන්දියාවට පැනලා ගිහින් ඉන්න පුළුවන් කියන කාරණය.
පසුගිය කාලයේ ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ළඟින් වැඩ කළා. මෝදිගේ ආරක්ෂක ලේකම්වරයාත් පසුගිය දිනක ලංකාවට ඇවිල්ලා හිටියා. අපි අහන ප්‍රශ්නය තමයි ඉන්දියානු ආණ්ඩුවත් එක්ක ආණ්ඩුවේ මේ පරීක්ෂණ කරන කණ්ඩායම් සාරා ජස්මින් ඉන්දියාවේ ඉන්නවාද කියන එක ඔවුන්ගෙන් විමසුවාද? අපි සියලු දෙනා දන්නවා සාරා ජස්මින් හොයා ගන්න පුළුවන් වුණා නම් මේ මහ මොළකරුවා සොයා ගන්න ඉතාම පහසු කාර්යයක් වෙනවා. අපිට දැනගන්න අවශ්‍යයි ඒ පිළිබඳ ආණ්ඩුව ඉන්න ස්ථාවරය. 2019 අප්‍රේල් මාසයේ 20 වැනිදා රාත්‍රියේ ශැන්ග්‍රිලා හෝටලයේ නවාතැන් ගන්න එනවා සහරානුයි, ඉල්හාම් කියන මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාම.
21 වැනිදා ත්‍රස්තවාදී ක්‍රියාව ඔවුන් මෙහෙයවනවා. සහරාන් මේ කාමරයට එන්න කලින් ඒ කාමරයේ කණ්ඩායමක් හිටියා කියලා හෝටල් කළමනාකරුවන් පිළිගෙන තිබෙනවා. මේ ගැනත් මේ ආණ්ඩුව පරීක්ෂණයක් කළාද? සහරාන්ගේ කාමරයට කාමර 3-4කට ඈතින් කාමරයක් තිබුණා. ඒක තමයි කාමර අංක 623. ඒ කාමරයේ හිටිය අය මේ බෝම්බ පිපිරීමත් සමග අතුරුදන් වෙනවා. දැන් මේ පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් ඒ දෙන්නවා අඳුනගෙන තිබෙනවාද? අපිට කියන්න ඔවුන් ලාංකිකයෝද? විදේශිකයෝද? අපි බලාපොරොත්තු වෙනවා මේ වර්තමාන ආණ්ඩුවෙන් අපි මතු කරන ප්‍රශ්න වලට උත්තර දෙයි කියලා. ”
