මාලිමා පා. මන්ත්‍රීගේ නිවසත් වැව් රක්ෂිතයට හසු වෙයි - ක්‍රියාමාර්ග නොගන්නත් රජයෙන් උපදෙස්
අනුරාධපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ඩී. එන්. කේ. පලිහේන මහතා විසින් තම ඉඩමෙන් ඕනෑම මොහොතක ඉවත් වීමට සූදානම් බව ප්‍රකාශ කරයි.
ඒ තමාගේ ඉඩම වැව්රක්ෂිතයට අයත් වීම නිසා රක්ෂිත ඉදිකිරීම් ඉවත් කිරීම් නවතා ඇති බවට කෙරෙන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය මෙන්ම රජයට අප්‍රසාදය ගොඩනැගීම සඳහා ගොතනලද ප්‍රචාරයක් බව කියමින්.
ඉකුත් මාස කිහිපයේදී නුවර වැව වැව්රක්ෂිතයේ මායිම් සටහන් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සිදු කළා.
එහෙත් මේ වනවිට එම ඉඩම්වල ඉදිකිරීම් පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධව රජය තීරණය කරන තුරු ඉදිරියේදී මේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් තවත් ක්‍රියාමාර්ග නොගන්නා ලෙසට උපදෙස් ලැබී ඇති බවට වාර්තා වේ.
කෙසේ වෙතත් මෙසේ සිදු වී ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පී ඩී එන් කේ පලිහේන මහතාගේ ඉඩමද නුවර වැව රක්ෂිතයට හසු වීම නිසා බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පිරිස් සැක පල කරන බව සඳහන්.
එහිදී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පී ඩී එන් කේ පලිහේන මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා.
එසේම ඔහු සඳහන් කළේ මේ ඉඩම සඳහා චන්ද්‍රිකා ආණ්ඩුව මගින් ඔප්පුවක් ද ලබා දී ඇති බවත් ඉදිකිරීම් සැලැස්ම නගර සභාව මගින් අනුමත කර ඇති බවයි.
එමෙන්ම තමා විසින් මෙය වෙනත් පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බවත් 1965 වර්ෂයේ සිට විදුලි බිල පවා පවත්වාගෙන ආ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසයි.
එබැවින් ඔහු කියා සිටියේ රක්ෂිත ඉවත් කිරීම තමාගේ බලපෑමට සිදුවන බවට චෝදනාවක් කරන්නේ නම් එය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
තවද දහස් ගණනකගේ ඉඩම් රක්ෂිත සීමාවට ඇතුළු වී ඇති නිසා එවැනි උපදේශයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දුන්නේ නම් ඒ, එය පදනම් කරගෙන සිදු වන්නට ඇති බවද කියයි.
තත්ත්වය එසේ වුවත් එය විවිධ පුද්ගලයින් දේශපාලන හෝ වෙනත් වාසියකට හරවා ගෙන මෙවැනි අසත්‍යය ව්‍යාජ මතයක් ගොඩනගන්නේ දැයි තමා නොදන්නා බවත් පලිහේන මහතා පැවසුවා.
මේ අතර හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ බිරිඳට අයත් අනුරාධපුර “පෙරිමියන්කුලම” වැව් රක්ෂිතයේ සිදු කරගෙන ඇති ඉදිකිරීම ඉවත් කිරීමට මෙම තත්ත්වයට බලපෑවේ නැති දැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ඉඩම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නොවන බවයි.
තවද එම ඉඩම වැවට ආසන්නයේම තිබෙන බවත් තවත් එවැනි ඉඩම්වලට ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දී ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළා. තවද මේ ඉඩම් සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් සිදුවන බවද ඔහු කියා ඇත.