මරදාන පංචිකාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අත්අඩංගුවට
මරදාන - පංචිකාවත්ත ප්රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි පැදිකරු, යතුරුපැදියත් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, බ්ලුමැන්ඩල් ප්රදේශයේදීයි.
කොළඹ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ ඊයේ (5) රාත්රී 11.45ට පමණ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් තරුණයෙක් මිය ගිය අතර පොලීසිය සඳහන් කර සිටියේ මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපල කරයි. මේ අතර මරදාන ප්රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (6) අලුයම 1.40ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය. තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව සඳහන්.