ජනතාව බිල්ලට දීලා මාලිමා ආණ්ඩුවට දෙහි කපන දුම්රිය වර්ජන
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) ආරම්භ කළ ක්ෂණික වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාව බරපතළ අපහසුතාවයන්ට මුහුණ දී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම වර්ජනය "අසාධාරණ" ලෙස හඳුන්වමින් අමාත්‍යංශය එයට තදින් විරෝධය පළ කර ඇත.
ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙක වන්නේ වසර පහකට වරක් ශ්‍රේණි උසස්වීම් ලබාදීමේ ප්‍රමාදය සහ නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීමයි. එහෙත්, අමාත්‍යංශය පවසන පරිදි, මෙම ගැටලුවලට විසඳුම් ලබා දී ඇත.
2025 ජනවාරි 22 වැනි දින දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 909ක්, ඒ අතර ස්ථානාධිපතිවරු 106 දෙනෙකු බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එසේම, ශ්‍රේණි උසස්වීම් සඳහා නිර්දේශ මැයි 7 වැනි දින දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර, ඒවා ලබන සතියේ රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, මෙම විසඳුම් ලබා දී ඇතත්, දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතා හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති බවයි. මේ පිළිබඳ සාකච්ඡා මගින් විසඳුම් සෙවීමට උත්සාහ කළද, මහජනතාවට පීඩා එල්ල කරමින් වර්ජනයකට යාම "ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ උවමනාවකින්" යුතු බවට අමාත්‍යංශය සැක පළ කරයි.
"මහජනතාව අපහසුතාවයට පත් කරමින් එකවර වර්ජනයකට යාම පිළිබඳ අපගේ බලවත් අප්‍රසාදය පළ කරමු," යැයි අමාත්‍යංශයේ නිවේදනයේ සඳහන් ය. දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු උපක්‍රම ගන්නා බවත්, රජය මේ සඳහා නොපසුබටව කටයුතු කරන බවත් අමාත්‍යංශය අවධාරණය කරයි.
- ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය
