පාසල් දිනවල ඛනිජ ප්‍රවාහනය තාවකාලිකව අත්හිටුවයි
පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය තීරණය කර ඇත.
කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය සඳහන් කළේ, මීට සති කිහිපයකට පෙර වැලි ටිපර් රථයකින් පාසල් වෑන් රථයකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුව පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගනු ලැබූ බවයි.
ඒ අනුව, එම වේලාවන්හිදී ඛනිජ ප්‍රවාහනයේ යෙදෙන වාහන ඉඩ ඇති ස්ථානවල නවතා තැබිය යුතු බව ඇය පැවසුවාය.
පසුගිය 4 වැනිදා සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා මෙම තීරණය පිළිබඳ දැනුවත් කිරීම් සිදුකර ඇති බවද දීපානී වීරකෝන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
