ලොකු පැටීගේ මුදල් භාරව සිටි කපු මහත්තයා අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින 'ලොකු පැටී' නම් අපරාධකරුගේ මුදල් පාලන කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශන නිලධාරීන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ, සැකකරුගේ ගිණුම්වල රුපියල් කෝටි 33කට අධික මුදලක් සංසරණය වී ඇති බවය.
ඒ අනුව අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලොකු පැටී නමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිනේෂ් කුමාර නමැති කපු මහතෙකු බව කියන අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා විමර්ශන සිදුකළ බව පැවසීය.
මෙම සැකකරුගේ රුපියල් කෝටි 33කට අධික මුදල් ඇතුළත් ගිණුම් හමුවී තිබෙන බවත්, එම මුදල් උපයාගත් ආකාරය මෙම සැකකරුට පැහැදිළි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පොලීසිය පවසා ඇත.