ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්
රාජකාරී අතරතුරදී අනෙකුත් නිලධාරීන්ට බාධා වන අයුරින් ජංගම දුරකථනයේ වීඩියෝ නැරඹීම හේතුවෙන් අවවාද කළැයි උරණවී ගොතටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උස් හඬින් බැණ වැදී ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් පිටව ගොස් තිබේ.
ඒ අනුව අනවසරයෙන් පොලිසීයෙන් පිටවී ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට කළ බව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
එම කොස්තාපල්වරයා ඉකුත් (19) වෙනිදින පෙරවරු 6.00 සිට සවස 18.00 දක්වා පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු ලෙස රාජකාරී සඳහා යොදවා සිට ඇති අතර ඊට යාබදව පිහිටි පාලන අංශයට ද හිරිහැරවන ආකාරයෙන් ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝවක් නරඹමින් දුරකථන ක්‍රියාකරු කුටියේ රැඳී සිට තිබුණු බවට තොරතුරු අනාවරණය වේ.
ඒ අනුව පාලන අංශයේ එම අවස්ථාවේ රාජකාරිය යෙදී සිටි කාන්තා පොලිස් සැරයන් නිලධාරිනියක් ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය වී ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමෙන් පසු ආධුනික පොලිස් කොස්තාපල්වරයා නිල කාමරය වෙත කැඳවා උපදෙස් ලබාදීමේදී ඇති අතර ආධුනික නිලධාරියා එක්වරම උස් හඬින් ස්ථානාධිපතිවරයා අමතා
" රස්සාව මට අවශ්‍ය නෑ. මම යනවා ඕන කෙනෙක්ට ටි ඕ බාර දීලා කරගනින්"
යනුවෙන් තවත් අසභ්‍ය වචන භාවිතා කරමින් කාර්යාලය දොර වැරෙන් ඇර පිටව ගොස් ස්ථානයෙන් බැහැරව ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි. එම කොස්තාපල්වරයා බැහැරව යාමෙන් අනතුරුව වෙනත් කොස්තාපල්වරයෙකු දුරකථන ක්‍රියාකරු ලෙස රාජකාරී යොදවා ඇති බවට වාර්තා විය.
ආධුනික කොස්තාපල්වරයා ඉතා ආවේගශීලී ලෙස අසාමාන්‍ය හැසිරීම් රටාවකින් හැසිරි ඇති අතර නිලධාරියා පොලිස්පතිතුමාගේ ස්ථාන මාරු නියෝගයක් අනුව තඹුත්තේගම කොට්ඨාසයේ ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සිට මීට දින තුනකට ඉහත දී ගොතටුව පොලිස් ස්ථානය වෙත සේවයට වාර්තා කළ අයෙක් බව පොලිසිය පවසයි.
එම නිලධාරි කාර්යාලයෙන් පිටව යාමෙන් පසු නිලධාරියා සම්බන්ධව ස්ථානයේ දිවා කාර්ය භාර නිලධාරියා වන පොලිස් සැරයන්වරයකු ලවා සොයා බැලීමේදී පිටව යාම සම්බන්ධයෙන් කොස්තාපල්වරයා කිසිදු සටහනක් නොතබා අනවසරයෙන්ම පිට ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.