ගුරු විභාග ගැසට්ටුව රිවස් කරයිද? ජනපතිට ලිපියක්
උපාධිධාරි ගුරු විභාගයට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙසට උපාධිධාරීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
ඒ වගේම පසුගිය දා (පෙබ. 4) ප්‍රකාශයට පත් කළ 2026 ගුරු විභාග ගැසට් නිවේදනයේ සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනයේ මෙන් ම අයදුම් කරන විෂයන් පිළිබඳව බරපතළ ගැටලු බොහොමයක් තිබෙන බව ලිපියෙහි පෙන්වා දී තිබේ.
අයදුම්කරුවන් 2025.06.30 දිනට පෙර සියලු ම අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට ගැසට් නිවේදනයේ දක්වා තිබීමෙන් 2026.02.04 දිනට සියලු ම සුදුසුකම් සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුව තිබෙන බව පෙන්වා දී ඇත.
2025.06.30 දිනයෙන් පසු කාල සීමාව තුළ විශ්වවිද්‍යාලවල උපාධි ප්‍රතිඵල නිකුත් කිරිම ප්‍රමාද වූයේ සිසුන්ගේ අසමත්කමක් හෝ වරදක් නොව රටපුරා බලපෑ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල වසරකට අධික කාලයක් වසා දැමීම, රට තුළ පැවැති ආර්ථික අර්බුදය, වෘත්තීය සමිති වැඩවර්ජන වැනි බාහිර සාධකවල ප්‍රතිඵල හේතුවෙන් බව ද එම ලිපියෙහි සදහන් කර තිබේ.
කැලණිය 2025.07.01, පේරාදෙණිය 2025.08.05, ඌව වෙල්ලස්ස 2025.10.17, රජරට 2025.12.31, සෞන්දර්ය හා කලා 2025.08.01 හා 2025.08.30, නැගෙනහිර 2025.12.18, සබරගමුව 2025.07.14, ශ්‍රී ජයවර්ධනපුර 2025.12.30, යාපනය 2025.07.25, වව්නියා මණ්ඩපය 2025.09.12, නැගෙනහිර (ත්‍රිකුණාමල මණ්ඩපය) 2025.07.08 හා 2025.09.26, විවෘත විශ්වවිද්‍යාලය 2025.10.12, සෞන්දර්ය කලා (නර්තන හා නාට්‍ය) 2025.07.01, බෞද්ධ හා පාලි 2025.08.01 වශයෙන් මෙම පිරිස උපාධි සම්පූර්ණ කර ඇතැයි ලිපියේ සඳහන් වේ.
ඒ වගේම පෙර වසරවල ගැසට් නිවේදන අනුව අයදුම් කළ හැකි වූ විෂය සම්බන්ධතා මෙම වසරේදී ඉවත් කර තිබෙන බව පවසන එම උපාධිධාරීන් සමාජ විද්‍යා උපාධියක් ලැබූවන්ට පුරවැසි අධ්‍යයනයට අයදුම් කළ නොහැකිවීම, පුරාවිද්‍යා උපාධිධාරීන්ට ඉතිහාසය විෂයට අයදුම් කළ නොහැකි වීම වැනි දුර්වලතා පවතින බව සදහන් කරයි.
එසේම ඔවුහු පෙන්වා දෙන්නේ අපරාධ විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, පුස්තකාල සහ තොරතුරු විද්‍යාව, රංග කලාව, මානව විද්‍යාව, සාහිත්‍ය විචාරය, පරිසර විද්‍යාව, පරිසර කළමනාකරණය යන උපාධිධාරීන්ට අයදුම් කළ හැකි විෂයන් ගැසට් නිවේදනයට ඇතුළත්ව නැති බවයි.
තවද පසුගිය මාස කිහිපයක කාල වෙනසක් පදනම් කරගෙන දක්ෂ, රටට සේවය කිරීමට සූදානම් තරුණ උපාධිධාරී පරපුරක් රජයේ රැකියා අවස්ථාවලින් වෙන් කිරීම දැඩි මානුෂීය හා සමාජ අසාධාරණයක් බව පවසන උපාධිධාරී පිරිස සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අවසාන දිනය අවම වශයෙන් 2025.12.31 දක්වා හෝ ගැසට් නිවේදනය නිකුත් කළ 2026.02.04 දින දක්වා දීර්ඝ කරන ලෙස ලිපිය මගින් ඉල්ලා තිබේ.
ඒ වගේම ඔවුන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර සිටින්නේ 2026 උපාධිධාරි ගුරු බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළ සාධාරණත්වය, සමානාත්මතාව හා මානුෂිකත්වය බරපතළ ලෙස කඩ වී ඇතැයි පවසන ඔවුහු විෂය හා උපාධි වර්ග සම්බන්ධයෙන් ඇති අසාධාරණතා නැවත සමාලෝචනය කර සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි .