මේ දවස්වල උණ හැදුනොත් භයානකයි - මේ ලක්ෂණ තියෙනවා නම් උණ නෙවෙයි - සෞඛ්‍යයෙන් රතු එළි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ගංවතුර සහ ජලයෙන් යටවූ ප්‍රදේශවල ජීවත් වන ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු රෝගයක් ලෙස මී උණ (Leptospirosis) රෝගය සෞඛ්‍ය අංශ මඟින් අවධාරණය කරයි.
ඒ අනුව සාමාන්‍ය උණක් වශයෙන් දක්නට ලැබුණත් නිසි වේලාවට ප්‍රතිකාර නොලැබුණහොත් බරපතළ සංකූලතා ඇති කළ හැකි රෝගයක් වශයෙන් මෙය හඳුන්වයි.
මෙම මී උණ රෝගය වැළඳෙන්නේ කොහොමද?
මීයන් ඇතුළු ආසාදිත සතුන්ගේ මුත්‍රා මඟින් ජලය සහ පස දූෂණය විය හැකි අතර එවැනි ජලය හෝ මඩ සමඟ සම්බන්ධ වීමෙන්, විශේෂයෙන්ම සමේ තුවාල හෝ ඇස්, නාසය සහ මුඛයේ ශ්ලේෂ්මල පටල ඔස්සේ බැක්ටීරියාව ශරීරයට ඇතුළු විය හැකියි.
එමෙන්ම ගංවතුරට යට වූ ප්‍රදේශ, කුඹුරු, මඩ සහිත ස්ථාන, කාණු සහ ජලය රැඳී ඇති ප්‍රදේශවල වැඩ කරන පුද්ගලයින්ට අවදානම වැඩි බව සඳහන්.

එබැවින් සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ
මී උණ ආසාදනයෙන් අනතුරුව සාමාන්‍යයෙන් දින 5ත් 14ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවිය හැක.
එසේම ඇතැම් අවස්ථාවල එම කාලය දින 2 සිට 30 දක්වා විය හැකියි.
• අධික උණ සහ සීතල
• හිසරදය
• මාංශපේශී වේදනාව සහ තදබල ඇඟපත වේදනාව
• ඇස් රතු වීම
• වමනය හෝ පාචනය වැනි රෝග ලක්ෂණ
• සම සහ ඇස් කහ පැහැ වීම
• හුස්ම ගැනීමේ අපහසුතා

එබැවින් මෙවැනි ලක්ෂණ ඇත්නම්, විශේෂයෙන්ම ගංවතුර හෝ මඩ සහිත ජලය සමඟ සම්බන්ධ වී ඇත්නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බව දන්වයි.
මෙම මී උණෙන් ආරක්ෂා වීමට පහත පියවර අනුගමනය කළ හැක.
• අනවශ්‍ය ලෙස ගංවතුරට බැසීමෙන් වළකින්න.
• මඩ සහිත හෝ දූෂිත ජලය සමඟ සම්බන්ධ වීම හැකිතාක් අවම කරන්න.
• ජලය සමඟ සම්බන්ධ වීමට සිදුවන්නේ නම් ආරක්ෂිත බූට් සහ අත්වැසුම් පළඳින්න.
• සමේ ඇති තුවාල ජලයට නිරාවරණය නොවන ලෙස ආවරණය කරන්න.
• කුඹුරු සහ අවදානම් ස්ථානවල වැඩ කරන අය සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින්න.
එසේම විශේෂයෙන්ම අවදානම් කණ්ඩායම් සඳහා අවශ්‍ය අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් මත රෝගය වැළැක්වීමේ ඖෂධ ලබාදීම සිදු කළ හැකි වේ.
එමෙන්ම මී උණ බරපතළ විය හැකි වුවත් කලින් හඳුනාගෙන නිසි ප්‍රතිජීවක ප්‍රතිකාර ලබාගැනීමෙන් සංකූලතා සහ මරණ අවදානම අඩු කරගත හැක.
එබැවින් වැස්සට තෙමුණු පසු උණක් ඇති වුවහොත් එය සාමාන්‍ය උණක් කියා නොසලකා හැරීම නොකළ යුතු බව තරයේ සිහි තබා ගන්න.