ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට නීතිමය බාධා
විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කතානායකවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව, නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ හේතුවෙන්, යෝජනාවේ නෛතික වලංගුභාවය පිළිබඳව නිල වශයෙන් පරීක්ෂා කිරීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ, කතානායකවරයා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් නොකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මෙම යෝජනාව ඉකුත් 15 වැනිදා න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතව තිබිණි.
අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාට ගැසට් නිවේදනයකින් කිසිදු විෂයක් පවරා නොමැති බැවින්, ඔහුට නිල වගකීමක් නොමැති අවස්ථාවක, එවැන්නෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ නෛතික හැකියාවක් නොමැති බව ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමතිවරු පෙන්වා දෙති.
එවැන්නෙකුට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට අවශ්‍ය නම්, එය දෝෂාභියෝග යෝජනාවක් පමණක් විය හැකි බව ඔවුහු සඳහන් කරති.
එබැවින්, නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාවක් නොමැති බවත්, ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත් එම මැති ඇමතිවරු අවධාරණය කරති.
මෙම යෝජනාව ගෙන ඒමට මූලික වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ලංකාදීප පුවත්පතට පවසා ඇත්තේ, ජනාධිපතිවරයා විදේශගතව සිටින සෑම අවස්ථාවකම ආරක්ෂක අමාත්‍ය ධුරයේ රාජකාරි ආවරණය කිරීම අරුණ ජයසේකර විසින් සිදුකරන ලද බවයි.