කත්මණ්ඩු ගුවන්තොටුපොළ යළි විවෘත කරයි
නේපාලය තුළ උද්ගත වූ නොසන්සුන් වාතාවරණය හේතුවෙන් පැය 24ක කාලයක් පුරා වසාදමා තිබූ කත්මණ්ඩු හි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සියලුම සිවිල් ගුවන්ගමන් සඳහා නැවත විවෘත කර ඇති බව වාර්තා වේ.
නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ මේ බව තහවුරු කර තිබේ. මෙයට හේතුව වන්නේ මේ වනවිට නේපාලය රට තුළ උද්ගතව ඇති දරුණු ගැටුම්කාරී විරෝධතා වාතාවරණයයි.
මේ ආකාරයෙන් නේපාලය පුරාවට උණුසුම් විරෝධතා පැතිර යෑමට හේතුව වන්නේ පසුගිය දිනක නේපාලයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවයි. එම තීන්දුවට විරුද්ධව නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ විය.
මෙසේ සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන් වේ.
ඒ අනුව අවාසනාවන්ත සිද්ධි දාමයකින් පසුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය පියවර ගෙන තිබුණද ඒ කිසිවක් නොතකා පාලක රජයට දැඩි විරෝධයක් පළකරමින් විරෝධතා අඛණ්ඩව පැවැත්විණි.
ඊයේ (09) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව එරට හමුදාව පැවසීය.