සිව්වන කුඹල් පෙරහැරට මහනුවර වාහන සැලැස්ම අලුත් කරයි
Kandy
Latest Headlines
Kandy Esala Perahera
Perahera
Sinhala news
By Shehan
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ සිව්වන කුඹල් පෙරහැර අද (02) දින වීථි සංචාරය සඳහා පිටත්ව යනු ඇත. මෙම අවස්ථාවේදී රථවාහන ගමනාගමනය පාලනය කිරීම සඳහා මහනුවර පොලිසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් සහ විකල්ප මාර්ග පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.
එම රථවාහන සැලැස්ම සහ විකල්ප මාර්ග පහත පරිදි වේ:
පොලිස් බලධාරීහු රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, පෙරහැර ගමන් ගන්නා කාලය තුළ එම සැලැස්මට අනුකූලව ගමන් කිරීමටත්, ගමනාගමන තදබදය අවම කිරීමට සහයෝගය දැක්වීමටත් ය.
- කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකිය.
- කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.
- කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැකිය.
- තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රියපොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කළ හැක.
- එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකිය.
- නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළඳා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කල හැක. තවද, බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කළ හැකිය.
- පල්ලිය පාර දෙපසට ගමන් කිරීමට හැකි පරිදි බෙදා වෙන් කර ඇත.
- කොළඹ දෙසින් ඇතුළු වන හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිට වන වාහන පරණ පේරාදෙණිය පාර හා විලියම් ගොපල්ලව මාවත ඔස්සේ ගමන් කළ හැකිය.
පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ එම සැලැස්මට අනුකූලව කටයුතු කරමින්, ගමනාගමන තදබදය අවම කිරීමට සහ ආරක්ෂක වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන ලෙසයි.
