මං මග බලන් හිටියේ අද හරියට බුදුන් දැක්කා වගේ - මහින්ද බලන්න ගිය ජැක්සන්ගේ බිරිඳ සතුටින් පිනා යයි
මෙවන විට තංගල්ල කාල්ටන් නිවසේ විශ්‍රාම සුවයෙන් වාසය කරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බැහැ දැකීම සඳහා ලංකාවේ සතර කොනින්ම අති විශාල ජන සංඛ්‍යාවක් දෛනිකව කාල්ටන් නිවසට පැමිණෙයි.
ඒ අනුව අද දිනයේ (21) මහින්ද රාජපක්ෂ සමයේ විවිධ වාසිදායී අවස්ථා නිර්මාණය කරගත් නිදහස් කලා සන්ධානය නැමැති කලාකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් කොටසක් මහින්ද රාජපක්ෂ මහතා බැහැදැකීමට පැමිණ තිබේ.
මේ ගමන සංවිධානය කරමින් එහි මූලිකත්වය ගැන කටයුතු කරේ ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති ධූරය දැරූ ටෙලි නිර්මාණවේදී සුදත් රෝහණ මහතා සහ නැසී ගිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණීය බිරිඳ කුමාරි ඇන්තනී මහත්මියයි.
ඒ අවස්ථාවේදී ඔවුන් මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කළ අතර පළමුවෙන්ම අදහස් ඉදිරිපත් කළ සුදත් රෝහණ මහතා පැවසුවේ පහත ආකාරයේ ප්‍රකාශයකි.
"අපි ආවේ කෘතවේදීත්වය දක්වන්න දැන් අපි දන්නවා අපේ සංස්කෘතියේ සම්ප්රදායේ තියෙන ප්‍රධානම කාරණාවක් තමා කෘතවේදීත්වය සැලකීම. එහෙම නැත්නම් සංස්කෘතියේ මුදුන් මල්කඩ, මුරගල තමයි කෘතවේදීත්වය එහෙම නැත්නම් පිදී යුත්තන් පිදීම.
අද මේ කලාකරුවෝ කියපු දෙනා මේ හදිස්සියේ මේ ගිය දවසේ කතා කරලා අද දිනය ආව නැත්නම් මම හිතනවා අපිට මේ බස් එකකින් දෙකකින් නෙමෙයි විශාල ප්‍රමාණයක් එන්න වෙනවා. නමුත් ඒ නිසා හදිස්සියේ ගියේ කතා කරලා මේ හදිස්සියේ රැස් වෙලා ඉතාම ඉක්මනින් මේ ගරු ජනාධිපතිතුමා බැහැ දකින්න බලන්න අපි ආවා. ඉතින් මොකද ඇත්තටම අපි හිතනවා මේක දේශපාලන කාරණාවකට වැඩිය පොඩි මනුෂ්‍යත්වය පිළිබඳ තියෙන කාරණාවක්."
යනුවෙන් ඔහු අදහස් දැක්වූ අතර අනතුරුව ජැක්සන් ඇන්තනී මහත්මයාගේ බිරිඳ වන කුමාරි ඇන්තනී මහත්මිය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබුණේ පහත ආකාරයටයි.
"අද මේ ගමන මම ආවේ ඉතාම සතුටෙන් සහ මම පුන පුනා බලාගෙන හිටියා කවද්ද මේ ගමනේ එන්නේ කියලා. ඉතින් ඇත්තටම එතුමා කරපු කී දේ රහසක් නෙමෙයි.
ඒදේවල් අගය කරලා කී දේට කෘතගුණ සලකන්න තමයි අද මම මෙතෙන්ට ආවේ. ඉතාම සතුටුයි. ඇත්තටම එතුමා දැක්කහම අපේ හිතේ තිබුණු හුඟාක් ගින්දර නිවිලා ගියා වගේ සැනසීමක් ඇති වුණා. හරියට බුදුන් දැක්කා වගේ."
යනුවෙන් ඇය අදහස් ඉදිරිපත් කර තිබුණි.