යුද්ධය මාස හයක් ඇදෙයි? දැනට යුද්ධය අවසන් වීමේ කිසිදු සලකුණක් නැහැ
තවත් මාස 6ක කාලයක් මැදපෙරදිග රටවලට ප්‍රහාර එල්ල කිරීමට තරම් මිසයිල සහ ඩ්‍රෝන තමා සතුව පවතින බව ඉරානය පවසා ඇත.
ඉරාන විප්ලවවාදී හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කරන්නේ,ඉරානය මේ වනතෙක් භාවිත කර ඇත්තේ පළමුවැනි සහ දෙවැනි පරම්පරාවේ මිසයිල පමණක් බවත් නවීන සහ අඩුවෙන් භාවිතා කළ දිගු දුර මිසයිල ඉදිරි දිනවලදී භාවිත කරන බවත්ය.
ඉරාන භූමියට අමෙරිකානු හමුදාව නොයවා සිටීමේ යෝජනාවට ට්‍රම්ප් නැවත වරක් සිය විරෝධය පළ කර ඇති අතර ඉරාන ප්‍රහාරවලින් මේ වනවිට අමෙරිකානු සොල්දාදුවන් 8 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්චි කියා සිටින්නේ ඉරානය කිසිදු ලෙසකින් යටත් නොවන බවයි.
මෙම යුද්ධය අවසන් වීමේ කිසිදු ලකුණක් මේ වන තෙක් පෙනෙන්නට නොමැති බව යුද විශ්ලේෂකයන් පෙන්වා දෙයි. ඇතැම් විශ්ලේෂකයින් කියා සිටින්නේ මෙම යුද්ධය තවත් මසක හෝ ඊට වැඩි කාලයක් පවතිනු ඇති බවයි. අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින්, ඉරානයේ 1,300 කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත් වී ඇති අතර ඉරානය එල්ල කළ ප්‍රහාරවලින්, ඊශ්‍රායලයේ 11 දෙනෙකුද සහ අනෙකුත් ගල්ෆ් රටවල පුද්ගලයින් 11 දෙනෙකුද ජීවිතක්‍ෂයට පත් වී ඇත.
පසුගිය 28 වැනිදා සිට මේ දක්වා ඇමෙරිකාව ඉරානයේ ඉලක්ක දෙදහසකට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇත, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය පළමු දින හතර තුළ පමණක් මැදපෙරදිග ගල්ෆ් කලාපයේ රටවල් 12 ක පිහිටි අමෙරිකානු හමුදා ඉලක්ක 27 ක් වෙත සහ ඊශ්‍රායාල ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර 500 ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 2000 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබේ.