මැදපෙරදිග යුද ගිනි ඇවිලෙද්දී ඉරානය සහ පාකිස්තානය අතර විශේෂ සාකච්ඡාවක්
කලාපීය සාමය සහ ආරක්ෂාව වර්ධනය කිරීම සඳහා අවංක හා සෘජු ප්රයත්නයන්ට උපරිමයෙන් කැපවී සිටින බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශේහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකදීය.
මෙම සංවාදය සිදුව ඇත්තේ, ඉරානය සමඟ තවත් වටයක සාකච්ඡා සඳහා අමෙරිකානු නියෝජිතයන් ඉස්ලාමාබාද් වෙත පැමිණීමට නියමිත බව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කිරීමෙන් අනතුරුවය.
අප්‍රේල් 11 සහ 12 දිනවල ඉස්ලාමාබාද්හි පැවැති පළමු වටයේ සෘජු අමෙරිකා-ඉරාන සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.
මෙම සාකච්ඡා පැවැත්වුණේ වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පාකිස්තානය මැදිහත්ව ලබාගත් සති දෙකක සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් තිබූ පසුබිමකය.
පෙබරවාරි 28 දින ආරම්භ වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් උද්භව වූ ගැටුම් මෙම සටන් විරාමය හරහා තාවකාලිකව නවතා ඇති අතර, එය අප්‍රේල් 22 දින අවසන් වීමට නියමිතය.
ෂරීෆ් සහ පෙසෙෂ්කියන් අතර විනාඩි 45කට ආසන්න කාලයක් පැවති මෙම සංවාදයේදී වත්මන් කලාපීය තත්ත්වය පිළිබඳව විස්තරාත්මක අදහස් හුවමාරුවක් සිදුකර ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම, ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් ඉස්ලාමාබාද්හි පැවති සාකච්ඡා සඳහා සහභාගී කිරීම පිළිබඳව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉරානයට ස්තූතිය පුද කර තිබේ.
තවද, සෞදි අරාබිය, කටාර් සහ තුර්කිය ඇතුළු රටවල්වල නායකයින් සමඟ තමන් මෑතකදී පැවැත්වූ සාකච්ඡා පිළිබඳවද ඔහු ඉරාන ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.
මෙම සාම ප්රයත්නයන් සඳහා පාකිස්තානය දක්වන කැපවීම පිළිබඳව පෙසෙෂ්කියන් විසින් ස්තූතිය පළ කර ඇති අතර, ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවත් ඔහු අවධාරණය කර තිබේ.