ඔත්තුකරුවෙකුට මරණ දඬුවම
ඊශ්‍රායල බුද්ධි අංශයට (මොසාඩ්) සහ එරට හමුදාවට ඔත්තු බැලූ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට ඉරානය පසුගිය සෙනසුරාදා මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ අගිල් කේෂවර්ස් නැමැති 27 හැවිරිදි තරුණයෙකුට වන අතර, ඔහු වාස්තු විද්‍යාව හදාරමින් සිටි සිසුවෙක් වන අතර පසුගිය මැයි මාසයේදී, ටෙහෙරානයට කිලෝමීටර් 600ක් වයඹ දෙසින් පිහිටි උර්මියා නගරයේ හමුදා මූලස්ථානයක ඡායාරූප ගනිමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ඉරානයේ හමුදා සහ ආරක්ෂක කලාපවල ඡායාරූප ගනිමින් මොසාඩ් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට තහවුරු වී ඇති අතර ටෙහෙරානය ඇතුළු විවිධ නගරවල මොසාඩ් සංවිධානය වෙනුවෙන් මෙවැනි ඔත්තු බැලීමේ රාජකාරි 200කට වඩා ඔහු විසින් සිදු කර ඇත.
රහසිගතව පැවැත්වූ නඩු විභාගයකින් පසුව ඔහුට මරණ දඬුවම නියම වූ අතර, ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද එම තීන්දුව තහවුරු කර තිබු අතර පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ දින 12ක අර්බුදයකින් පසුව, ඔත්තු බැලීමේ චෝදනාව මත ඉරානය මරණ දඬුවම ලබා දුන් 11 වැනි පුද්ගලයා මොහු වේ.
එහිදී ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ හමුදා ප්‍රධානීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයන් ඇතුළු 1,100ක් පමණ මිය ගිය අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 28 දෙනෙකු මිය ගිය අතරමීට පෙර ඔක්තෝබර් මාසයේදී ද ක්වොම් නගරයේදී තවත් පුද්ගලයෙකුට මෙවැනිම චෝදනා මත මරණ දඬුවම ලබා දී ඇත.